Archive for January, 2013

22
Jan
13

පුත්තලමේ කාපිරි ජනයා

ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ තුන් වැනි ලංකා රෙජිමේන්තුවේ වැඩි කොටසක් කාපිරි සොල්දාදුවන්ගෙන් සමන්විත වූ බවත්, එයින් වැඩි කොසක් සේවය කළේ පුත්තලමේ බවත්, පසු කාලයක රෙජිමේන්තුව අහෝසි කරද්දී මේ සොල්දාදුවන්ගෙන් වැඩි දෙනෙක් පුත්තලමේම නතර වූ බවත්, මහාචාර්ය සුනිල් ආරියරත්න, තම “බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක්” නම් කෘතියේ සඳහන් කරයි. අද පුත්තලමේ සිටින්නේ ඔවුන්ගෙන් පැවත එන කාපිරි ජනයා බව ද මහාචාර්යවරයා කියයි.

බෙහෙවින්ම විනෝදකාමී ජන කොට්ඨාශයක් වන කාපිරි ජනයා, නැටුම ගැයුම තම මුළු ජීවිතයටම තදින් බද්ධ කරගෙන සිටිති. ඔවුනගේ බස ශුද්ධ පෘතුගීසි නොවේ. පැරැන්නන් ඉන්දු පෘතුගීසි බස කතා කළ බැව් පැවසේ. එහෙත් අද සාමාන්‍ය ජීවිතයේ ඔවුන් භාවිතා කරන්නේ සිංහල හෝ දෙමළ ය.

උපුටා ගැනීම….

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක්” නම් කෘතියෙන්..

“පැරණි පෘතුගීසි බසින් රචනා වුවද, බොහෝවිට බෙම්ටෝ (6/8) තාල රූපයෙන්ම ගැයුණ ද, පුත්තලමේ කාපිරි ජනයා ගයන බොහෝ ගී, නාදමාලාව විසින් සාමාන්‍ය බයිලා කපිරිඤ්ඤා වලට වඩා වෙනස් බව පෙනේ. එමෙන්ම එම ජන කොටස එම ගී හඳුන්වා දෙන්නේ ද, බයිලා කපිරිඤ්ඤා යන නාමයෙන් නොවේ; “මාඤ්ජ” යන සුවිශේෂ නාමයෙනි.”

උපුටා ගැනීම නිමයි.

මෙම වීඩයෝවද නරඹන්න

 

පින්තාලිය Facebook හී පුත්තලමේ කාපිරි ජනයාගේ “මාඤ්ජ” නම් post එන ද කියවන්න

“මාඤ්ජ” කිහිපයක් අහන්න http://snack.to/a1u5yc1d

puttalam Kaffirs

16
Jan
13

මහගම සේකර

ජීවත්ව සිටි කෙටි කාලය තුල කලා ‍ක්ෂේත්‍රයේ ඔහු පෑ වික්මන් මෙතෙකැයි ගණන් හිලව් ඇතිව ඉදිරිපත් කිරීමට නොහැක. ඔහුගේ මුළු ජීවිතයම කැප වුනේ කලාවටය.

සේකරයන් පිළිබඳ යමක් සටහන් කරන්නට බොහෝ කියවූවෙමි. ඒ අතර කැත්ලීන් ජයවර්ධන “සිළුමිණ” ට ලියූ ලිපියක් හමුවිය. වෙනත් සටහනක් ඇවැසි නැත. එය මුළුමනින්ම කියවන්න.

Mahagama Sekara4 

උපුටා ගැනීම 2010 ජනවාරි 10 වන දින “සිළුමිණ” පුවත් පතින්;

විශ්වයේ සියලුම වස්තූන්ට ආවේණික වූ දේ නම් චලනය හා රිද්මයයි. ඒ වූ කලී ස්වභාව ධර්මයේ අචේතනික හා සචේතනික වස්තූන් සියල්ලෙහි පැවැත්ම කෙරෙහි රිද්මය බලපාන ආකාරය පිළිබඳ චිත්‍රණය යි. ගද්‍ය පද්‍ය නිර්මාණ කෙරෙහි මේ බලපෑම කවරාකාරයෙන් සිදුවන්නේ ද යන ප්‍රශ්නය දෙවනුව අප තුළ නැඟේ.

අර්ථ රසයේත් ශබ්ද රසයේත් සංකලනයෙන් අපූරු රූ රටා අප තුළ චිත්‍රණය කළ මහා කලාකරුවකුගේ රූපකාය අනතුරුව අප තුළ ඇඳී යයි. ඔහුගේ ‘සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ’ නම් වූ කෘතිය ද ඒ සමඟම සිහි වේ. ඒ වූ කලී මහා කලාවේදියකු ලෙස නිර්ලෝභීව හැඳින්විය හැකි නිර්ව්‍යාජ මනුෂ්‍යයෙකි. අදින් වසර 33කට පෙර අකාලයේ අපෙන් සමුගත් ඔහු මහගම සේකර නම් වෙයි.

’මහගම සේකර සහ රිද්මය’ යනු දෙකක් නොව එකක් ම ය යන සිතුවිල්ල අපේ උපවිඤ්ඤානගතව ඇත්තාක් මෙනි. එය සිදුවී ඇත්තේ ද අහම්බ ලෙස නො වේ. අතිශයින් අර්ථවත් වූත් රිද්මයානුකූල වූත් ඔහුගේ නිර්මාණ සමුච්චය පෙර නොවූ විරූ ඉසවු වෙත අප රැගෙන යමින් අපේ හදවත් සුසර කර ඇත්තේ ද රිද්මයානුකූලව ය.

මේ රිද්මය ඔස්සේ සියුම් වූ ජීවිතාවබෝධයක් ද අප සතුවී තිබේ. ඒ සෞන්දර්යය, සරල සුගම බව හා සුසංයෝග වූ දාර්ශනික ගැඹුරක් ද ඔහුගේ ඒ නිර්මාණ තුළ කැටිව පැවති හෙයිනි.

ලොවේ වරක් සිදු වූ දෙය, කිසියම් රිද්මයකට අනුව නැවත නැවත සිදුවන බව ඉවකළ හැකි සූක්ෂ්මාත්මතාවයෙන් යුතුªවූ කිසිවකුට මරණය බියක්, ශෝකයක් හෝ ගැටලුවක් වන්නේ නැත.

ජපන් මහා ලේඛක යසුනරි කවබතා 1968 වසරේදී තමා වෙත පිරිනැමුණු සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිළිගනිමින් ‘මරණය සොඳුරු බවට පත්කිරීමත් මිනිසා, සොබාදහම හා ශූ®න්‍යත්වය අතරේ සුසංයෝගීභාවයක් ඇති කිරීමත් තම නිර්මාණවල මුඛ්‍ය පරමාර්ථය වූ බව අවධාරණය කළේ ද ඒ නිසා ය. දාර්ශනිකයා වූ කලී විශ්වය කිසියම් දුරකට සාක්ෂාත් කරගත්තෙක් වන අතර කලාවේදියා විශ්වීය තත්ත්වයක් ගවේෂණය කරන, දාර්ශනිකයාගේ අතරමැදියකු ලෙස අපට හැඟීයන්නේ ද ඒ අනුව ය.

සේකරයන්ගේ කියමන්, වියමන් හා නිමැවුම් දෙස නිරීක්ෂණාත්මකව නෙත් හෙළන්නකුට ද මේ සත්‍යය හමුවෙයි. මරණය ආගන්තුකයකු සේ නොදුටු සේකර මියයාම පරාජයක් වශයෙන් ද නොතැකුවෙකි. සිය සංවේදනා පළකිරීම සඳහා ඔහු ලෝකයට විවර කළ කවුළු වැනි වූ නිර්මාණ සමුදාය අතරින් මරණයේ චමත්කාරය මෙසේ විදාරණය වේ.

එළිය යනු අඳුරම ය
සීතලම උණුහුම් ය
එබැවින්
ජීවිතය ම වේ මරණය

කේ.ජයතිලකයන් සමඟ සේකර එළිදක්වා ඇති ‘ව්‍යංග්‍යා’ කෘතියෙන් අපට හමුවන්නේ සිහිනයේ දී සේකර දුටු මරණය යි.

ඊයේ රෑ සිහිනෙන් මිය ගිය මම
භග්නාශා රෙදිකඩින් ඔතාගෙන
මළකඳ උසුලා සොහොනට ගෙන ගොස්
මගෙම අතින් මළ කුණ වැළලූයෙමි
(මිනීමල් – ව්‍යංග්‍යා)

මහගම සේකර නම් වූ මේ සංවේදී කලාකරුවාගේ, නිර්ව්‍යාජ මනුෂ්‍යයාගේ, පෞද්ගලික ජීවිත තතු දැනගැනීමට වඩා සහෘදයකු, රසිකයකු ස්පර්ශ කළ යුතු වන්නේ ඔහුගේ ආධ්‍යාත්මය ය යනු අපේ විශ්වාසය ය. ඔහුගේ ජීවන තතු ගෙනහැර දැක්වීම සඳහා ඔහුගේ කවියක්ම වුව සෑහෙන බවක් අපට හැඟීයන්නේ එහෙයිනි.

මා ගැන දන්නා
අය කොතෙකුත් වෙති
පත්තරවල මා
නම ගම පළවෙයි.
මහගම සේකර
එම්.ඒ.සිංහල
පදිංචි ගම්පහ
රදාවාන ගම
දැන් විදුහල්පති
ඔය ඔය විදියට…

රෝගීව එක්තැන්ව සිටි සේකර සිය අඹුදරුවන්ට ද රහසින් අභ්‍යාස පොතක කුරුටු ගෑ දීර්ඝ ආඛ්‍යාන වාක්‍ය නිර්මාණය වන ‘නොමියෙමි’ හි මුල් අත් පිටපතේ ලියැවුණකි ඒ. එහෙත් විය යුතු අයුරින්ම ඔහු අතින් මරණය ප්‍රතිනිර්මාණය වෙනු දැක්මට අසතුටු වූවෝ ද වූහ.

ඒ ඔහුගේ ප්‍රියාදර බිරිය කුසුමලතා මහගමසේකර හා ගීෂා පාඨලී, නිරූපමා සල්මාලි, රවීන්ද්‍ර යන දූ දරුවන් ය. මහෞෂධ පණ්ඩිතයන්ගේ සඳුන් හර මෙන් ‘කලාව‘ මිටින් ගෙන උපන් සේකරගේ කෙටි ජීවිත කාලය කැපවූයේ ද කලාව උදෙසාම බව මැනැවින් දන්නෝ ද ඔවුහු ම වෙති.

වරක ඔහු ගීතයකට පදවැල් ඇමිණුවේ ය. රසබර, අරුත් බර කවි ලීවේ ය. චිත්‍ර ඇන්දේ ය. රූප ඇඹුවේය. ඒ සමඟම නව දැනුම සොයා යාමේ පවසකින් ද පෙළුණේ ය. කවිය හා චිත්‍රය ඔහුගේ ජීවිතයට එක්ව තිබුණේ කුඩා කල සිට ය.

සිංහල පුහුණු ගුරුවරයකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ සේකර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂකයකු වශයෙන් වැඩි දුර අධ්‍යයනයෙහි යෙදී බී.ඒ.(ගෞරව) උපාධිය ද ලබා ගත්තේ ය. ගුරු වෘත්තියේ යෙදෙමින්ම පශ්චාත් උපාධි අපේක්ෂකයකු වශයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළු වී ශාස්ත්‍රපති (එම්.ඒ.) උපාධිය ද දිනුවේ ය.

පසුකලෙක ගුවන්විදුලියේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙනුත් මීරිගම ගුරු විදුහලේ කථිකාචාර්යවරයකු වශයෙනුත් ජීවිතයේ අවසාන භාගයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධිපති ලෙසිනුත් රාජකාරියෙහි නියැළුණු සේකර 46 වැනි වියේ දී (1976 වසරේ දී) ජීවිතයෙන් සමුගත්තේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයේ පුරවාලිය නො හැකි තරමේ රික්තයක් ද ශේෂ කරමිනි.

කලාවේදියා, සාහිත්‍යවේදියා යනු අනුකාරකයකු නො වේ.

ඔහු නිර්මාණ කාර්යයට අතගසන්නේ ප්‍රතිලාභ පිළිබඳ අල්ප වූ හෝ හැඟීමකින් තොරව ය. අප මෙතෙක් වින්දනය කර ඇති අපූරු කලා නිර්මාණ සියල්ල සැමවිටම බිහි වී ඇත්තේ නිර්මාණයට සමවැදුණු කලාකරුවන්, සාහිත්‍යකරුවන් අතිනි. කවර වූ හෝ කලා නිර්මාණයක්,

සාහිත්‍ය නිර්මාණයක් උත්තම හෝ අධම වන්නේ නිර්මාණකරුවාගේ අවංකභාවය මත යැයි රුසියානු මහාලේඛක ලියෝ ටෝල්ස්ටෝයි වරක් අවධාරණය කර ඇත්තේ ද මේ තත්ත්වය පිළිබඳව ය. සංවේදීභාවය හා නිර්ව්‍යාජත්වය කලාකරුවාගේ් නිසඟ ලක්ෂණ වෙයි. අතිශයින්ම සංවේදී, නිර්ව්‍යාජ මිනිසකු වූ සේකර සකලවිධ වූ නිර්මාණ කාර්යයන්හි යෙදුණේ ද නිර්මාණය සමඟ ඒකාත්මික වෙමිනි. ඊට සමවදිමිනි. ඔහුගේ කිසිදු නිර්මාණයක් ආවාට ගියාට කලබලයට එළිදුටුවේ නැත.

සේකරගේ නිර්මාණයන්හි පැවැත්ම පිළිබඳ රහස ඇත්තේ ද එතැනය. ඇතැම් ගීතයක් ලියද්දී ඔහු එහි පදවැල් මුමුණමින් – ගයමින් නිවෙසේ ඔබමොබ සක්මන් කළේ ය. මේ අනුව ඔහු ලියූ සෑම ගීතයකම මුල්ම ගායකයා වන්නට ඇත්තේ ද ඔහු ම ය. භාවපූර්ණ වූ එබඳු ගීතයක් ශ්‍රවණය කිරීමේ දී පවා වීණාවක තත් මෙන් ඔහුගේ හදවත ද සුසර වූවේ ය. උත්සව අවස්ථාවක ‘රත්නදීප ජන්මභූමි’ ගීතය වාදනය වෙද්දී ඔහුගේ දෑසින් කඳුළු කඩා හැළුණේ ද ඒ නිසා ය.

සිත්සතන් දැහැන්ගත කරවන සුලු වූ ‘මුනි සිරිපා පියුමේ – රොන්සුණු හද තැවරේ’ (‘රන්සළු’ චිත්‍රපටයේ) ගීතයේ පදවැල සඳහා ඔහු ආවේශය ලැබුවේ මහපොළොවේ සිට අඩි සිය දහසක් ඉහළට ඇදීයමින් සිටියදී ය. එදා ඒ මොහොතේ නිව්යෝර්ක් බලා යන ගුවන් මගියකුව සිටි ඔහු අතින් ඒ ළයාන්විත පදපෙළ ඇමිනුණේ අහස් යානය වලාකුළු අතරින් පියාඹා යද්දී දුටු දර්ශනයෙන් හටගත් සංවේදනයන්ගේ උත්තේජනයෙනි.

විශ්වය සමඟ ඒකාත්මික වූ සේකරගේ සිතුවිලි ශූන්‍යත්වය හා නික්ලේශී බව තුළ ඇසිල්ලකට හෝ දැහැන් ගත වන්නට ඇතැයි අපට සිතෙන්නේ ඒ ගීතය ශ්‍රවණය කිරීමේදී අප ලබන වින්දනයට අනුවය. ඒ ගීතය ඔහු සම්පූර්ණ කළේ පසුදිනක කඳුකර පෙදෙසක ගල්තලාවක් මත අමරදේවයන් ද සමඟ රැඳී සිටිමිනි.

උපතින්ම ගැමියකු වූ සේකර, ආහාර පානවල රස හඳුනාගෙන සිටියේ ද ගැමියකු ලෙස ය. ඔහු වැඩියෙන් ප්‍රිය කළේ ලුණු ඇඹුල් පදමට යෙදූ මිරිස් සැරයෙන් අනූන වූ ව්‍යංජන ය. ගැමියකු ලෙස ඉපි ද ගැමියකු ලෙස ජීවත් වූ ඔහු ‘වොලිබෝල්’ ක්‍රීඩාවෙහි ද ශූරයකු ව සිටියේ ය. අභ්‍යාස විදුහලේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා වූයේ ද ඔහුය.

1963 වසරේදී කුසුමලතා සුරවීර මෙනෙවිය සමඟ යුග දිවි ඇරැඹූ ඔහු මරණය දක්වා පුරා 13 වසරක් ජීවත් වූයේ ඇය සමඟ ය. ‘බිරිඳ’ නමින් පසුකලෙක ඔහු අතින් එළිදුටු කවියකින් එළිදක්වන්නේ ද මේ කෙටි කාලසීමාවේදී ඇය පිළිබඳව ඔහු තුළ මුහුකුරා ගිය හැඟීම් විය හැකි ය.

පාන්දරින් තේ
උගුරක් මට ගෙනෙනා බිරිඳ ඔබය
දුන් පුතුන් ආදරයෙන්
රැකබලනා බිරිඳ ඔබය
හීන් සීරුවේ
මා ගැන සෝදිසියෙන් සිටින ඔබය
මාත් එක්ක සංසාරේ
එකට හිටිය බිරිඳ ඔබය

ස්වකීය නිර්මාණයක් එළිදැක්වීම සඳහා සේකරයන්ට පූර්ණ නිශ්ශබ්දතාවයකින් යුතු වටපිටාවක් අවශ්‍ය වූවේ නැත. සද්ද බද්ද සමඟ සාහිත්‍ය නිර්මාණයක්, කලා නිර්මාණයක් කළ නොහැකි බවට සාක්ෂියක් සේකරගේ චරිතයෙන් කිසිදිනෙකත් ගම්‍ය නොවෙයි.

එවැනි මැසිවිලි නඟන්නේ, නටන්න බැරිකම පොළොවේ ඇදයෙන් වසා ගැනීමට තැත්කරන්නන් ද යන පැනය අප තුළ නැඟෙන්නේ හුදකලාව, නිශ්ශබ්දතාව නිර්මාණ කාර්යයට අත්‍යාවශ්‍ය සාධක වශයෙන් සේකර කිසිදිනෙකත් නො සිතූ® නිසා ය. නිවෙසේ ඔහු නිර්මාණ කාර්යයන්හි යෙදුණේ කාමරයක දොරගුළු වසාගෙන නො වේ. දරුවන්ගේ කෙළි සෙල්ලම් ඇතුළු විවිධ ශබ්ද අතරේ වුව තම නිර්මාණ ලෝකයට පිවිසීම ඔහුට දුෂ්කර වූවේ නැත.

෴  කැත්ලීන් ජයවර්ධන ෴

උපුටා ගැනීම නිමයි (2010 ජනවාරි 10 වන දින සිළුමිණ)

Mahagama Sekara1 Mahagama Sekara2 Mahagama Sekara3

සේකර උපන්නේ 1929 අප්‍රේල් මස 7 වැනිදා ගම්පහ දිස්ත්‍රික්යේ රදාවානේ දීය. උප්පැන්න සහතිකයේ ඔහුගේ නම යන්නට ඉදිරියෙන් ඇත්තේ ‘සේකර’ යනුවෙන් පමණකි. මහගම ගේ ජෝන් සිංඤෝ සේකර ගේ පියා විය. ඔහු සැරැසිලි චිත‍්‍ර සම්බන්ධයෙන් ගම් ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රකට පුද්ගලයෙක් විය. සේකර මහා කලාකරුවකු වන්නේ පියා ගෙන් ඔහු ලද ආභාෂය නිසාවෙනි. ඒ වගට සේකරගේ “ප්‍රබුස්ධ” කාව්‍ය සංග්‍රහයෙහි ඔහු පියා ගැන සඳහන් කරන පිළිගැන්වීම දෙස් දෙයි.

‘විසල් සුදු ඩිමයි කඩදාසි මත’
‘තබා මහ කවකටුව දිග රූල’
‘ඇඳ නෙක මෝස්තර මල් හා කොළ’
‘කපා කැටයම් ඉඳු බොකුටු නියනින්’
‘විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි’
‘කුඩා කල සිටම මට කියාදුන් තාත්තට’

BCABirthcertificateSekara2

උපන් දිනය: 1929 අප්‍රේල් මස 7
ස්ථානය: රදාවාන ගම්පහ දිස්ත්‍රික්කය (එවකට කොළඹ දිස්ත්‍රික්කය)
පියා: මහගම ගේ ජෝන් සිංඤෝ
මව: රණවක අච්චිගේ රොසලින්

(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්)

මහගම සේකර ලියූ ‘තුංමං හංදිය’ නවකතාවේ එන සිරිසේන ගේ චරිතය එක් අතකට මහගම සේකර ගේ ම චරිතයට බෙහෙවින් සමාන ය. සිරිසේන තම ජීවිතයේ තීරණාත්මක වූ තුං මං හංදිය වෙත පිවිසෙයි. එහි දී පාරවල් තුන තුන් අතකට විහි දී යයි.

එක් පාරක් ආපහු ගෙදර යන පාර ය. අනෙක් පාරෙන් ගියොත් ගම්පහ ලෝරන්ස් විදුහලට ගොස් ඉංග‍්‍රීසි ඉගෙන ගත හැකි ය. තුන් වැනි පාර දිගේ යන්නට ඇත්තේ කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයට ය. (තුංමංහංදිය සිවු වැනි මුද්‍රණය 1984 පිටුව 140 – 141) මේ ආකාරයට ම මහගමසේකරට තම ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් එළැඹිණි. ඔහු ද සිරිසේන මෙන් කොළඹට විත් මරදාන කාර්මික විද්‍යාලයයට බැඳී චිත‍්‍ර කලාව ඉගෙනීමට පටන් ගත්තේ ය. ඒ 1948 දී ය.

1948 පමණ වන විට මේ රටේ ‘43 කණ්ඩායම’ ඔස්සේ නූතනවාදී චිත‍්‍රකලා සම්ප‍්‍රදායයක් ගොඩනැඟී අවසන් බව අප සිහි කටයුතු ය. එකල කාර්මික විදුහලේ චිත‍්‍ර ශිල්පය ඉගෙනීමට සිදුවූයේ ඉංග‍්‍රීසි භාෂා මාධ්‍යයෙනි. එසේ ම එහි ඉගැන්වූ චිත‍්‍ර කලාව ද පර්යාලෝක නීති රීති ගුරු කොටගත් බටහිරයථාර්ථවාදී චිත‍්‍ර කලාව විය. කාර්මික විදුහලේ සමාජ සංස්කෘතික පසුබිමත් එකී චිත‍්‍ර කලා රීතියත් සේකරට ඒ තරම් ම ඇල්ලුවේ නැති බවක් පෙනෙන්ට තිබේ.

භූමි දර්ශන ඇඳීමත් ප‍්‍රභූන් ගේ ආලේඛ්‍ය චිත‍්‍ර ඇඳීමත් චිත‍්‍ර කලාව නොවන බව සේකර වටහා ගෙන තිබුණේ ය. එය ඉතා ව්‍යක්ත ව ප‍්‍රකාශ කර ඇති අවස්ථාවක් ‘සුපුබුදු කලා විදු මහගම සේකර’ නම් වූ පොත් පිංචේ එයි. “යුරෝපීය චිත‍්‍ර ශිල්පීන් අනුගමනයෙන් සුන්දර දේශ දර්ශන පිටපත් කිරීමක් හෝ මැති ඇමැති ආදී ප‍්‍රභූන් ගේ තෙල් සායම් හෝ දිය සායම් හෝ වර්ණ චිත‍්‍ර ඇඳීමක් හෝ සේකර කවදාකවත් ප‍්‍රිය නො කෙළේ ය.

ඓතිහාසික ස්ථාන චිත‍්‍රපට නැඟීමට උත්සුක නො වූ හේ සාම්ප‍්‍රදායික සංකේතයන් අවශ්‍ය පරිදි නවමු ශෛලියකින් ඉදිරිපත් කෙළේ ය. (1990 පිටුව 33)

ඊට මඳක් සමාන අදහසක් ආචාර්ය කේ. ජයතිලක විසින් ද කරනු ලැබ ඇත. “… ඔහු මරදාන ටෙක්නිකල් කොලිජියේ ඉතා ප‍්‍රකට චිත‍්‍රඥයන්ගෙන් චිත‍්‍ර කලාව හදාළ නමුත් ඔවුන් ගේ චිත‍්‍ර සම්ප‍්‍රදායයන්ට යට නො වූ තමා ගේ ම චිත‍්‍ර සම්ප‍්‍රදායක් ගොඩනඟා ගෙන තිබිණි.

(ඉහත ‘දිවයින’ පත‍්‍රයේ ලිපිය) එකරුණ තවදුරටත් ස්ථාපිත කිරීම සඳහා ‘සුපුබුදු කලා විදු මහගම සේකර’ නම් වූ පොත් පිංච ලියන ජයදාස කුමාරගේ ගේ මේ අදහස් ද උපුටා ගැනීම මැනවැ යි සිතමි. දේශීය හෝ ස්වාධීන චිත‍්‍ර කලාවක් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකට එදා කාර්මික විද්‍යාලයානුබද්ධව පැවැති චිත‍්‍ර ශිල්පීය අංශයෙන් සේකරට එතරම් පිහිටක් ලැබුණේ නැත.

ලන්ඩනයේ චෙල්සි චිත‍්‍ර ශිල්පායතනයෙන් උපාධි ලබා පැමිණ සිටි ආචාර්ය භවතුන් විසින් බටහිර චිත‍්‍ර කලාවම ශ්‍රේෂ්ඨ තන්හි ද සැලැකුණු එවැනි යුගයක සේකර ස්වාධීන සිත්තම් ආරක් අනුගමනය කිරීමට පටන්ගත්තේ ය. (25 පිටුව)

1949 දී චිත‍්‍ර කර්ම ගුරු විභාගයට පෙනී සිටි සේකර ඊළඟ වසරේ දී චිත‍්‍ර ගුරුවරයකු ලෙස නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලට ඇතුළු වූයේ ය.

Continue reading ‘මහගම සේකර’

14
Jan
13

ග්‍රැන්විල් රොද්‍රිගෝ

1999 ජනවාරි 10 වැනිදා සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ජනවාරි 15 වනදා මෙලොවින් සමුගත් ග්‍රැන්විල් රොද්‍රිගෝ නම් කලාකරුවා ගේ 13 වැනි ගුණ සමරුව නිමිති කරගෙන, මේ සටහන තබන්නෙමි.

Granville 3 Granville 4

මෝදර, ද ලා සාල් විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය යන පාසල් වලින් අධ්‍යාපනය හැදෑරූ ග්‍රැන්විල්, සංගීතය කෙරෙහි යොමුවන්නේ පාසල් වියේදීමයි. මෙකල නිරතුරුව ඔහු අත රැඳුනේ බොක්ස් ගිටාරයයි. "කවදා හෝ සංගීතඥයෙකු වන්නෙමි" යන සිතුවිල්ල මේ කාලයේදී තම සිත්හී මෝදු වෙමින් තිබූ බව පසු කලෙක ග්‍රැන්විල් මාධ්‍යයට පවසා ඇත.
මුතුවැල්ල ශාන්ත ජෝන් දේවස්ථානය ඔහුගේ සංගීත ජීවිතයට පන්නරයක්  ලැබුණු ස්ථානයකි. ඔහු දේවස්ථානයේ ගායන වෘන්දයේ නිත්‍ය සාමාජිකයෙක්ව සිටියදී බොහෝ පැසසුම් ලැබුවේය.

නාට්‍ය ක්ෂේත්‍රයට එකතුවන්නට ලැබීම හා එහිදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, හා ධම්ම ජාගොඩ යන ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගෙන් ගුරුහරුකම් ලබා ගන්නට වරම් ලැබීම තුල, ඔහු තුල සැඟවී ගත් නිසග කුසලතාවන් ඔප මට්ටම් කර ගැනීමට ඔහුට හැකිවිය. "මනමේ", "සිංහබාහු", "මහාසාර", "සුභ සහ යස", "ඒකාධිපති" හා "සක්යා", වේදිකාවේ ඔහු ප්‍රතිභාව පෙන්වූ නාට්‍යවේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ "වීර පුරන්අප්පු" හා පරාක්‍රම නිරිඇල්ල ගේ "සිරිමැදුර", සිනමාව තුල ඔහු ප්‍රතිභාව පෑ චිත්‍රපට වේ. වීර පුරන්අප්පු චිත්‍රපටයේ "ජය අපටයි ලංකාවේ" ගීතයට ඔහු ගායනයෙන් ද සහාය විය.

සංගීත දිවයෙහි කේමදාසයන්ගේ ඇසුරේ කලා කෘතින් වල දායකවීමට ලැබීම ද, ඔහු ලද භාග්‍යයකි. කේමදාසයන් ද රජ වැඩ කෘතියට ග්‍රැන්විල් සහභාගි කරවා ගන්නේ, ඔහුගේ සංගීත කුසලතාව හා රංගනයේ හැකියාවන් ද  මනාව හඳුනාගෙනයි.

සිනමාව තුල නළු කමට අමතරව, ඔහු කලා අධ්‍යක්ෂණයෙන් ද දස්කම් පෑවෙකි. ඔහු ධර්මසිරි වික්‍රමරත්න ගේ "හිමකතර" චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණ වෙනුවෙන්  ජනාධිපති සම්මානයත්, ධර්මසිරි බණ්ඩාරනායකගේ "සුද්දිලාගේ කතාව" වෙනුවෙන් හොඳම කලා අධ්‍යක්ෂණට සරසවි සම්මානයත් දිනා ඇත.

ගායනයෙහි අතිශය දස්කම් පෙන්වූ ඔහු "ඔටා දමඤ්ඤා" නම් ගීත 16 ක් ඇතුලත් කැසට් පටයක් ද එළි දැක්වීය.

Granville 2 Granville 5
කේ. ඒ. ඩබ්. පෙරේරාගේ "පාසල් ගුරුවරී" චිත්‍රපටයට ඔහු රංගනයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් ද දායක විය. සුරන්ජිත් ද සිල්වා‍ගේ "මනෝකාය" ටෙලි නාට්‍යයේ භූමිකාව අභිරුචියකින් රංගනයේ යෙදුන අවස්තාවක් බව ඔහු විසින් පවසා ඇත. දේශපාලනය කෙරෙහි කලාකරුවන් යොමුවීම ඔහු නොරිස්සූ දෙයකි.
පෙම් සබඳතාවකින් පසු ශාමලී හා විවාහ වූ ග්‍රැන්විල්, පුතුන් තිදෙනෙකුගේ ආදරණීය පියාණන් විය.

Granville Family

Continue reading ‘ග්‍රැන්විල් රොද්‍රිගෝ’