Archive for November, 2012

17
Nov
12

සුජාත දියණී

මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන “සුජාත දියණී” ටෙලි නාට්‍යය 2003 වසරේ සැප්තැම්බර් 15 දින සිට 2004 මාර්තු 30 දින දක්වා කොරියාවේ MBC  රූපවාහිනි සේවය ඔස්සේ මුල් වරට විකාශයවූ කොරියාවේ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් නිෂ්පාදනය වූවක්.

vlcsnap-2012-12-10-18h28m19s211 vlcsnap-2012-12-11-16h04m45s9 vlcsnap-2012-12-11-17h40m46s20 vlcsnap-2012-12-11-16h14m55s218 vlcsnap-2012-12-11-17h11m53s94

vlcsnap-2012-12-11-17h50m28s211 vlcsnap-2012-12-11-17h59m55s243 vlcsnap-2012-12-11-16h13m16s254 vlcsnap-2012-12-11-17h01m34s53 vlcsnap-2012-12-11-17h00m48s105

vlcsnap-2012-12-11-17h00m44s66 vlcsnap-2012-12-11-16h39m12s199 vlcsnap-2012-12-11-16h18m37s139 vlcsnap-2012-12-11-16h13m28s117 vlcsnap-2012-12-11-17h58m00s119

vlcsnap-2012-12-11-17h59m30s249 vlcsnap-2012-12-11-18h06m54s81 vlcsnap-2012-12-11-17h09m08s242 vlcsnap-2012-12-11-16h40m16s76 vlcsnap-2012-12-11-18h09m41s217

මේ එහි සිංහල තේමා ගීතය.

ගහ කොල මල් ගල් ගැසී බලා සිටිනවා
යුක්තිය යුතුකම් සොයා ඇය පියඹනවා
සුජාත දියණියත් ඔබයි මේ බිම ඔබගෙයි
සැඟව සිනාසෙනු මැන හසරැල්ලද තහනම්

ඊතලේ යුක්තිය නෑ
යුක්තිය යුතකම ඔබමයි
මේ පොළෝ තලේ උපන් සුජාත දියණී
ආදරේ කුමරි ඔබයි සතුට ද සුසුම ද ඔබමයි
මේ පොළෝ තලේ උපන් සුජාත දියණී

පද රචනය : අතුල රන්සිරිලාල්
සංගීතය : නුවන් සමරසිංහ
ගායනය : ඇන්ජලින් ගුණතිලක

මෙන්න මුල් කොරියානු තේමා ගීය.
පද හා තනුව
Im Se-Yeon ගෙ. (කොරියානු pansori ආරේ සංගීතය)

o na ra o na ra a ju o na
ka na ra ka na ra a ju ka na
na na ni ta ryo do mou no na ni
a ni ri a ni ri a ni no ne
he i ya di i ya he i ya na ra ni no
o ji do mo ta na ta ryo ka ma
he i ya di i ya he i ya na ra ni no
o ji do mo ta na ta ryo ka ma


ඉංග්‍රීසි පරිවර්තනය
If asked to come, will he really come?
If asked to leave, will he really leave?
Even after waiting for countless days, we will not be together
Nay, nay, it is nay
Chorus:
Heiiya-diiya heiiyadara nino
(You cannot come, so take me instead)
Eiiya-diiya eiyadara niro
(You cannot come, so take me instead)


PhotofrJIP2

මුල් කෘතියේ 16 වැනි කථාංගයේ එන Ha Mang Yeon යන ගීය සුජාත දියණී කෘතියේ 23 වැනි කථාංගයෙහි (2012-11-2) මෙසේ ඇතුළත් වුනා.
සයුරේ පිපී
අහසේ දිලී
සංසාරයේ පියවරු සිටී
දෙවියන් වගේ
සුසුමන් අසා
සැනසුම් දෙඩූ
මිතුරන් ද ඒ
සීසීකඩ රැල්ලක් ඇසේ හැපී
හසරැල්ලක් විලසේ
සංසාරයේ නෑයෝ
සිනාසිසී ළංවී වෙන්වී යං
මුළු ලෝකෙම මගෙයි කියා

මෙන්න එහි කොරියානු ගීය. වරහන් තුළ අඩංගු වන්නෙ තේරුමයි.
pa ra me ji neng a ryon han sa rang
(A vague love which disappears with a wind)
peor hae ye ji de sa ra chyo ka na
(Would be gone as if a star falls?)
chon hae rur kwein der mo da har sa rang
(A love which would not end even if all the oceans are combined)
chong sang e sae kyo mi wo do kop da
(Is engraved on a blue skirt, which is mean but beautiful)
nop ko ner jin ha ne ri na do ro ham ke sar ja ha do ra
(The high and drooping heaven told me to live together)
kip ko hom han pa da ro sa ra u nier che sa rang un
(My love which will live and weep like a deep and rough sea)
cho kang er e wo he re ri
(Will flow surrounding the Cho River)

මුල් කොරියානු තේමා ගීතය හා සිංහල ගීතය

සයුරේ පිපී හා එහි මුල් කොරියානු ගීතය (Ha Mang Yeon)

Continue reading ‘සුජාත දියණී’

01
Nov
12

නෘත්‍ය යුගය

දහවෙනි ශත වර්ෂයේ ලංකාවේ අස්සක් මුල්ලක් නෑර නාඩගම් ඉතාම ජනප්‍රිය අන්දමින් පැතිරී තිබිණ. රූකඩ නැටුම් හා කෝලම් නැටුම් ද මෙකල බහුලව පැවතිණි.

නාඩගම් සම්ප්‍රදායට ඉඳුරාම වෙනස් අමුතුම සම්ප්‍රදායයකින් යුත් නව නාට්‍ය ක්‍රමයක් මේ කාලසීමාවේදී මෙරට බිහිවිය. එම නව නාට්‍ය ක්‍රමය හැඳින්වූයේ නෘත්‍ය නමිනි. මෙහි නිර්මාතෘවරයා වූයේ සී. දොන් බස්තියන් මහතායි. සිංහල නාට්‍ය ඉතිහාසයේ අමරණීයත්වයෙන් සැලකෙන, නාට්‍ය රචකයකු, ග්‍රන්ථ කර්තෘවරයකු හා පත්‍ර කලාවේදියකු වන සී. දොන් බස්තියන් මහතා සිංහල පඩිවරයෙක් ද විය.

පිටස්තර ආභාසයක් ලබා නොගත් දොන් බස්තියන් මහතා තමාගේ ම ස්වාධීන අදහස් අනුවම මෙම නව නාට්‍ය ක්‍රමය සකස් කර ගොඩනංවා ඇත. දෙබස්වලින් සමන්විත වූ අලුත් නාට්‍ය සම්ප්‍රදායට, එකල මෙහි තිබූ භාරතීය සංගීත ක්‍රම අනුව සින්දු වලින් සමන්විත අලුත් නාට්‍ය ක්‍රමය සංගීතමය නාට්‍ය විශේෂයෙකි.

පුෂ්ප ශාලාව Floral Hall

රොලිනා ද සොයිසා චරිතය දිව්‍ය කුසුම් ය, රොමියෝ ජුලියට් ආදී අපරදිග කථාවන් ඇසුරෙන් වැඩි හරියක් ගොඩ නැඟුණු නාට්‍ය කෘතීන් බොහෝ ගණනක් දොන් සෙබස්තියන් විසින් රචනා කරන ලදී. නව පන්නයේ නාට්‍යයන් අතුරෙන් ඔහුගේ ප්‍රථම නිෂ්පාදනය වූයේ රොලිනා නාට්‍යයයි. එය පළමු වන වරට වේදිකා ගත කරන ලද්දේ 1876 දී. පිටකොටුවේ මල්වත්තේ ‘රැකට් කෝට්හි’ (දැනට චාමස් ධාන්‍යාගාරය පිහිටි ඉඩමේ) ගොඩනඟා තිබූ පුෂ්ප ශාලා (ප්ලවර් හෝල්) හි දී ය.

දක්ෂ නළු පිළිසකගෙන් යුත් දොන් සෙබස්තියන් නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූයේ ඩී. බර්තොලමියුස් (බාරොන් සිංඤෝ) මහතා යි. දොන් බස්තියන් නාට්‍ය වල ප්‍රධාන චරිත රඟපෑ මොහු ලංකාවේ ප්‍රථම ‘රෝමියෝ’ වශයෙන් ද ප්‍රසිද්ධ විය. සහජ දක්ෂතාවක් තිබූ මේ තැනැත්තාට ඉතාලි නාට්‍ය කණ්ඩායමක් සමඟ විදේශීය රටවල් ගණනාවකට ගොස් නාට්‍ය කරණය පිළිබඳ සෑම අංශයක්, ගැනම පුළුල් ඉගෙනුමක් ලබා ගැනීමේ භාග්‍ය උදා වූයේ ඔහුගේ බාල වයසේ දී ම ය.

විදේශීය ආභාසය

නාට්‍ය නිෂ්පාදනය, රඟපෑම, වේදිකා සැරසිලි ආදී සෑම අංශ යක් ගැනම පිටරට පුහුණුවක් ලබා ආපසු ලංකාවට පැමිණි මොහු දොන් බස්තියන් මහතා ගේ නාට්‍ය නිෂ්පාදන කළමනාකරු හා ප්‍රධාන සංවිධායකයා ද විය. කොණ්ඩේ බැඳි රෙදි කෝට් ඇඳි මේ සිංහල නළුවා ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මන්, දෙමළ, හින්දි, චීන, බුරුම ආදී භාෂා ගණනාවක් ම උගත් භාෂා විශාරදයෙක් විය. එසේ ම නාට්‍ය, සංගීත, චිත්‍ර ආදී ලලිත කලාවන් පිළිබඳව පෙර අපර දෙදිග පතල කීර්තියක් ද ලැබීමේ භාග්‍ය ලද්දෙකි. සිංහල නාට්‍යයන්, හින්දි, බුරුම, චීන ආදී භාෂාවන්ට පරිවර්තනය කර, ඒවා විදේශීය රටවල ප්‍රදර්ශනය කළ එකම සිංහල නාට්‍ය කලාකරුවා වශයෙන් ද බර්තොලමියුස් මහතා අදත් ගෞරවයෙන් සිහිපත් කළ හැක.

මෙවැනි දක්ෂ නළු පිරිසක් ඇති කළ දොන් බස්තියන් ප්‍රථම වරට නිළියක් ද වේදිකාවට ගෙන ආවේ ය.

ඒ පිටකොටුවේ ආනා පෙරේරා මහත්මියයි. දොන් බස්තියන් නාට්‍ය වල සංගීතය පෝෂිත වූයේ ඩී. බර්තොලමියුස් මහතා අතිනි.

තාරුණික නාට්‍ය සංගමය

සංවිධානයක් ඇතිව නාට්‍ය ඉදිරිපත් කිරීම සඳහා ‘තාරුණික නාට්‍ය සංගමය’ නමින් නාට්‍යය සංගමයක් ද බස්තියන් මහතා විසින් පිහිටුවා ගන්නා ලදී. “ලොකේක සිංහල නාට්‍ය සංගමය, සිංහල නෘත්‍ය සමාගම, සීමාසහිත සිංහල නෘත්‍ය සමාගම ආදී වශයෙන්, වරින් වර නාට්‍ය සංගමයේ නම වෙනස් විය.

නාට්‍ය ප්‍රදර්ශනය

බර්තොලමියුස් මහතාගේ උපදෙස් අනුව සකස් වූ ඇඳුම් ආයිත්තම්, හා වේදිකා සැරසිලි ආදියෙන් අලංකාර වූ දොන් බස්තියන් නාට්‍ය කණ්ඩායම 1884 වර්ෂය වනවිට කොටුවේ ප්ලවර් හෝල්හි දී සතියකට දෙවරක් බැගින් නාට්‍ය ප්‍රදර්ශනය කළේ මුළු කොළඹ නගරයම උත්සව ශ්‍රීයක් ගන්වමින් ය.

නීතිඥ ජෝන් ද සිල්වා මහතා

සී. දොන් බස්තියන් ගෙන් පසු නාට්‍ය කලාවේ ‘ස්වර්ණමය යුගයක්’ ඇති කරමින් නාට්‍ය රචනා කිරීමෙහිත් නාට්‍ය නිෂ්පාදනය කිරීමෙහිත් නිරත වූයේ ලංකාවේ ෂේක්ෂ්පියර් යන විරුදාවලියෙන් හැඳින් වූ නීතිඥ ජෝන් ද සිල්වා මහතා යි.

පිටකොටුවේ ප්ලවර්හෝල් හි ප්‍රදර්ශනය කරනු ලැබූ දොන් බස්තියන් ගේ නාට්‍යයන් නැරඹීමෙන් ඇතිවූ සොම්නස් හැඟීමෙන් යුතුව නාට්‍ය රචනා කිරීමට තදින් ඉටා ගත් ජෝන් ද සිල්වා, දොන් බස්තියන් නාට්‍ය සංගමයේ සාමාජිකයෙක් විය.

පසුව තම ඥාති සොහොයුරෙකු වූ බත්තරමුල්ලේ ශ්‍රී සුභූති (ශ්‍රී කවිරාජසිංහ) ස්වාමි පාදයන් වහන්සේ ගේ උපදෙස් හා අනුග්‍රහයත්, කවට තිලක පත්‍රයේ කර්තෘ තම හිත මිතුරු ජී.ඩී. පෑලිස් අප්පුහාමි ගේ සහ ඩබ්ලිව්.ඩී.සී. කවිසේන ආදී තවත් හිත වතුන්ගේ සහයෝගයත් ලැබූ ජෝන් ද සිල්වා තමාගේ ම නාට්‍ය සංගමයක් පිහිටුවා ගැනීමට තදින් ඉටා ගන්නා ලදී.

එහෙත් සිංහල වේදිකා නාට්‍යයේ පුරෝගාමියා වූ තම හිතෛෂී දොන් බස්තියන් මහතාගේ සිත් වේදනාවට පත්වේ යයි යන අවංක හැඟීමෙන් එම අදහස ක්‍රියාවේ යෙදුවේ නැත. මේ අදහස දැන ගත් සී. දොන් සෙබස්තියන් මහතාත්, එම සංගමයේ සාමාජිකයන් වූත් නාට්‍ය කලාකරුවන් වූත් ඩී. බර්තොලමියුස්, ඩබ්ලිව්.ජෝන් පෙරේරා, ඒ. ජෝසප් පෙරේරා ආදීන්ගේ කැමැත්තත්, සහයෝගයත් ජෝන් ද සිල්වා මහතාට පසුව ලැබිණ. එයින් ප්‍රබෝධමත් වූ ජෝන් ද සිල්වා 1885 වර්ෂයේදී ‘සීමාසහිත පූර්ව දිග ලංකා නාට්‍ය සංගමය’ නමින් ඔහුගේ ම නාට්‍ය සංගමයක් පිහිටුවා ගන්නා ලදී.

කාලයාගේ වෙනස්වීම අනුව ජාතික වූත්, ආගමික වූත්, දේශීය මුහුර්වරකින් යුක්ත වූත්, පොදු මහජනතාවගේ යහපත සඳහාත් ජෝන් ද සිල්වා මහතා නාට්‍ය රචනා කිරීම ආරම්භ කළේ දොන් බස්තියන් නාට්‍ය ක්‍රමයට වෙනස් මඟක් ගන්වමින් නවෝදයක් ඇති කරවමිනි.

දඹදෙනි නාඩගම

නාඩගම් සම්ප්‍රදායට මහත් ළැදියාවක් දැක්ව‘ු ජෝන් ද සිල්වා ප්‍රථමයෙන් රචනා කර පළ කළේ ‘දඹදෙනි නාඩගමයි’ එහෙත් ඔහුගේ ප්‍රථම නිෂ්පාදනය වූයේ ‘නල රාජ චරිතය’ නමැති නාට්‍යයයි.

වියත් සරල බසින් රචනා කරන ලද ‘නල රාජ චරිතය’ නාට්‍ය, ජෝන් ද සිල්වා මහතා ගේ අලුත් නාට්‍ය සංගමය මගින් පළමුවෙනි වරට 1886 වැනි වර්ෂයේදී පිටකොටුවේ ප්ලවර්හෝල් හිදී වේදිකා ගත කරන ලද්දේ සිංහල නාට්‍ය කලාව නව මඟකට යොමු කරවමිනි. මෙය නීතිඥ ජෝන් ද සිල්වා නෘත්‍ය යුගයේ ආරම්භ යයි.

මෙම නාට්‍යයේ නළු නිළියෝ තිස් පස් දෙනෙක් පමණ වූහ. එයින් ඩී. බර්තොලමියුස්, (බාරොන් සිංඤෝ) කෝර්ත බෝන් වීදියේ (දැනට හෙට්ටියාවත්ත නමින් ඇති ප්‍රදේශය) බර්නාඩ් ද සිල්වා, නීල් වීදියේ ගාබ්‍රියෙල් අප්පුහාමි, කොස්ගස්ළඟ අන්තප්පුහාමි, කුමාරසිංහ, මනුවෙල් අප්පුහාමි, පිටකොටුවේ ජේමිස් පීරිස්, මර්තේලිස් පෙරේරා, පෑලියගොඩ පෝල් ඩයස්, නාවල ඇම්.ජී.ඇල්. ලුවිස් පෙරේරා සේදවත්තේ පේදුරු අප්පුහාමි, ග්‍රෑන්ඩ්පාස්හි කේ.ඩී. ජෝර්ජ්, පිටකොටුවේ ආනා පෙරේරා නෝනා හා ඩී. මෙරායා නෝනා ඇතුළු මෙම නළු නිළි පිරිසෙන් බොහෝ දෙනෙක් දොන් බස්තියන් නාට්‍ය කණ්ඩායමට අයත් වූහ.

සංගීත නිර්මාණ

කේ.ඇම්. බලිවාලා, ග්‍රෑන්ඩ් තියටර් වික්ටෝරියා ආදී පර්සි නාට්‍ය කණ්ඩායම් විසින් වරින් වර මෙරටට පැමිණ ප්‍රදර්ශනය කරන ලද නාට්‍යවල සංගීතයේ හා හින්දු, මැලේ, ද්‍රවිඩ ආදී වෙනත් සංගීතයන්ගේ ආභාසයෙන් ගොඩ නැඟූ ‘නල රාජ චරිත, නාට්‍යයේ සංගීතය සපයන ලද්දේ ග්‍රෑන්ඩ්පාස් හි ‘උදුමල මරික්කාර් කොම්පඤ්ඤවීදියේ ජලාල්දීන්, තුවන් ජලීල්, මසංගස් හන්දියේ දොරේසාමි, කෝට්ටේ ගාබ්‍රයෙල් අප්පුහාමි සහ කදිරවේලු පුල්ලේ, ආදීන් විසිනි. ඒ ජෝන් ද සිල්වා මහතාගේ ප්‍රථම සංගීත කණ්ඩායමට අයත් සංගීත කරුවන්ය.

”නල රාජ චරිතය” ලංකා දහන, හෙවත් මහා රාමායනය, ගිනිහටන, සීතා හරනය හෙවත් ගිනිගත් රාමායනය, (මෙම නාට්‍යය වේදිකා ගත කරන දිනයේ ශාලාවට ගිනි තැබීමෙන් වූ විපර්යාසයෙන් පසුව එය ගිනිගත් රාමායනය නමින් හැඳින්විය) දස්කොන්, පරංගි හටන යන නාට්‍ය හයක් ම රචනා කර නිෂ්පාදනය කරන ලදී.

ඉන්දු ආර්ය සංස්කෘතිය අනුව හා ඉංග්‍රීසි, රෝම පාර්සි, මෝගල් ආදී ඇඳුම් ආයිත්තම් අනුකරණයෙන් යුතු ඇඳුම් නිර්මාණය කරනු ලැබුවේ පිටකොටුවේ දක්ෂ මැහුම්කරුවෙක් වූ “හරමානිස්” අප්පුහාමි මහතා විසිනි. වේදිකා සැරසිලි හා චිත්‍ර වස්ත්‍ර (තිර) නිමවූයේ පිටකොටුවේ ජෝර්ජ් හැන්රිකස් හා දෙමටගොඩ ඒ.ඇෆ්.ඩී.ජයසිංහ යන මහතුන් අතිනි.

වේදිකා සැරසිලි දුටුවන් මවිත කරවන ඒවා විය. ශක්‍ර භවන, උඩුමහල් සහිත මාලිගා, දර්ශනීය මල් උයන්, පොකුණු, කඳු – ගංගා, ගිනිකඳු ආදියෙන් හා යන්ත්‍ර සූත්තර ආදියෙන් කෙරුණු පිපිරීම්, දර්ශන වෙනස්වීම් ආදී දර්ශනයන් ගෙන් යුත් වේදිකාවක් මවාපාමින් නාට්‍ය ප්‍රදර්ශනය කළේ මෙකල මෙන් අවස්ථාවන් හා දර්ශන නරඹන්නන් ගේ අදහස් පරිදි සිතා ගැනීමට ඉඩහැර ඔවුන්ව නොමඟ යවමින් වැරදි හැඟීමක් ඇතිකර ගත හැකි අන්දමින් නොව, ඒ ඒ අවස්ථාවන් හා දර්ශන ගැන හැකි තරම් දුරට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සැලැස්වීමෙනි.

උත්තර භාරතීය සංගීතය

මේ අවධියේ අභාවයට පත්වෙමින් තිබූ උත්තර භාරතීය සංගීතය නැවත නඟා සිටුවීම සඳහා ඩී.බර්තොලමියුස් මහතාගේ ගෝලයෙක් වූ කොටහේනේ ඇෆ්.ජෝන් පෙරේරා මහතා විසින් සංගීතායතනයක් පිහිටුවන ලදී. එම සංගීතායතනය මඟින් “සංගීතාමෘතය” නමින් පොතක් පළ කළේ සංගීතාචාර්ය “බේබි මහාරාජා” නමින් ඉන්දියාව ආදී විදේශවල ප්‍රසිද්ධියක් ඉසිලූ ඒ ජෝර්ජ් පෙරේරා ජයසූරිය මහතායි. සංගීත ශාස්ත්‍රී ඇම්.ජී.පෙරේරා මහතා, ඒ.ජෝර්ජ් පෙරේරා, ජයසූරිය මහතාගේ ප්‍රධාන ශිෂ්‍යයා වේ. දේශීය සංගීතයටත්, දේශීය නාට්‍ය පෝෂණයටත් මේ ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන් ඇතිවූයේ විශාල සේවයකි. කොළඹ විද්‍යොදය පරිවේණාධිපතිව සිටි හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නායක ස්වාමි පාදයාණන් වහන්සේ මේ සංගීතඥයින්ගේ ගුරු දේවයා වූහ. ඇම්.ජී.පෙරේරා මහතාගේ ‘තුන්වන ගීත ශිෂ්‍ය’ නමැති ග්‍රන්ථයෙන් මේ පිළිබඳ විස්තරයක් දැක ගත හැක.

ජෝන් ද සිල්වා නාට්‍යයන් ක්‍රමයෙන් ප්‍රසිද්ධ වන්නට විය. එමෙන්ම සාර්ථක නාට්‍ය කර්තෘවරයකු වීමේ කුසලතාව හා අවශ්‍ය අංග නීතිඥ ජෝන් ද සිල්වා කෙරෙහි පිහිටන්නට විය. නාටක ලිවීමේ ස්වාභාවික සමත්කම් කෙනෙකු තුළ පිහිටීමෙනුත්, භාෂාවේ ස්වාමිත්වයක් ඇතිකර ගැනීමෙනුත් පමණක් උසස් තත්ත්වයේ නාට්‍යයක් සාර්ථක ලෙස නිර්මාණය කළ නොහැක. තමන්ගේ පරමාර්ථ කෙරෙහි හෘදයංගම අවංක හැඟීමක් ද නාට්‍ය කර්තෘවරයකු තුළ තිබිය යුතු විශිෂ්ට ගුණයකි. නාටක ශාස්ත්‍රය පිළිබඳ පළල් අවබෝධයත්, භාෂා ස්වාමිත්වයත් සමඟ නාටක රචනය සඳහා ජෝන් ද සිල්වා කෙරෙහි පිහිටා තිබුණේ උසස් සහජ දක්ෂතාවකි. ජාතික ආගමික සමාජීය හැඟීම් ගති පැවතුම් හා කුළ සිරිත්වලින් පිරිහී ගොස් සිටි එකල සිංහලයාට ජාතික ආගමික හැඟීම්වලින් ප්‍රබෝධ කරවමින් සමාජයේ බෝවී තිබූ සංකර සිරිත් ගති පැවතුම්වලට පහර ගසමින් ජාතික සංස්කෘතිය, සභ්‍යත්වය, නඟා සිටුවමින් සිංහලයා නිවහල් ජාතියක් වශයෙන් නැවත ඉදිරියට පිය නැංවීමේ පරමාධ්‍යාශයෙන් ජෝන් ද සිල්වා නාට්‍යයන් රචනා කළේය.

ජාතික ප්‍රබෝධය

ගී සින්දු නාට්‍ය ප්‍රබන්ධයන්ගෙන් හා රසබර අර්ථවත් මටසිළුටු බසින් ලියන ලද දෙබස්වලින් හා මධුර මනෝහර සංගීතයෙන් ද පෝෂිත කොට, තම ඉතිහාසයේත්, ආගමේත් සිද්ධීන් ආකර්ෂණවත් අන්දමින් නාටකයට ගොඩනංවා ප්‍රදර්ශනය කරමින් ජාතියේ උත්කෘෂ්ඨතාවත්, පැරැණි ශිෂ්ටාචාරයේ ගාම්භීරත්වයක් ඒ අනුව එදා ජීවත් වූ සිංහලයා උදාර ශ්‍රේෂ්ඨ, නිදහස් මනුෂ්‍ය වර්ගයක් බවත් ලංකාවාසී පොදු මහජනතාවට අවබෝධ කළේ, නාට්‍ය නමැති රසගුලාවෙන් හැලෙන්නා වූ මිහිරි මදු මී විතක රස දෙවන්නාක් මෙනි.

ජෝන් ද සිල්වා නාට්‍යකරණය ප්‍රසිද්ධියට පත්වෙමින් යන කාල සීමාවේදී නත්තල් උත්සවයක් සඳහා සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහා මුදලිතුමාගේ ආරාධනයක් පරිදි ලංකාවට පැමිණි උතුරු ඉන්දියානු සම්භාවනීය සංගීත ශාස්ත්‍රඥයෙකු වූ “විශ්වනාථලව්ජී” නැමැති බ්‍රහ්මණ පඬිවරයෙක්, එම නත්තල් උත්සවයට සහභාගිවූ ජෝන් ද සිල්වා මහතාට මුණගැසිණි. විශ්වනාථලව්ජි පැමිණ සිටියේ ඔහුගේ මාමා වන ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වූ “කංජිජටාසංකර්” පඬිවරයාත් සමඟය.

විශ්වනාථලව්ජි සංගීතය

මෙම සංගීතඥයින් ගේ සංගීත වාදනය හා ගායනය ගැන පැහැදුණු අප නාට්‍යාචාර්යවරයා තම නාට්‍යවලට සංගීතය සපයන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ සඳහා කංජිජටාසංකර්ට නැවැතීමට නුපුළුවන් බව දැන්වූ මුත්, ඔහුගේ බෑණා වූ විශ්වනාථලව්ජි එම කාර්යය ඉටු කිරීමට භාර ගෙන නැවතිණි. මෙම සංගීතඥවරයා පළමුවෙන්ම දුන් සංගීත රාග තාල ගැන අපේ නාට්‍ය රචකයා සතුටට පත් නොවීය. එයින් නොසන්සුන් වූ සංගීතඥවරයා එම කාර්ය සඳහා දින හතක් කල් ඉල්ලීය. එම අවසරය ලැබූ විශ්වනාථලව්ජි දින හතේම තම ආගමික දේව පූජාදිය පවත්වා තම කාර්යය ඉටු කිරීමට ලෑස්ති විය.

හත්වන දිනයේ උදේම අප නාට්‍ය කතුවරයා උත්තර රාමායන නාට්‍ය පිටපත ද රැගෙන, ගොස් සංගීතය සැපයීමට සූදානම් දැයි සංගීතඥවරයාගෙන් විමසීය. ඔහුද එයට ලෑස්ති බව ප්‍රීති මුහුණින් ප්‍රකාශ කර, ”දුෂ්ඨ කුෂන් ගත තුන් තොජබරා තුම් කරේ” යන හින්දි ගීත රාගය ගායනා කර පෙන්වන ලදී. එම රාගය ගැන පැහැදුණු අප නාට්‍ය කතුවරයා ඒ මොහොතේම එම හින්දි වචනවලට සමාන වචනවලින් යුතුව “දුෂ්ට පරට්ටිය – මක්ක කීවාද හීන්සැරෙන් – හීන්සැරෙන්” නමැති ගීතය ප්‍රබන්ධ කරන ලදී. හින්දි වචලවලටම සමාන වචන යොදමින් ගීත ප්‍රබන්ධයේ දක්ෂකම දුටු විශ්වනාථලව්ජි අප නාට්‍ය රචකයා ගැන පැහැදී එම නාට්‍ය කෘතියට අවශ්‍ය සියලුම සින්දු රාග තාල එදිනම දී අවසන් කළේය.

නාට්‍ය කෘතීන්

විශ්වනාථලව්ජී සංගීතඥවරයාගෙන් ලබා ගත් සංගීත රාග තාල අනුව ප්‍රබන්ධ කරන ලද ජෝන් ද සිල්වාගේ නාට්‍ය කෘතීන් හතළිස් දෙකක් පමණ විය. උත්තර රාමායනය, රාමායනය, සිරිසඟබෝ, වෙස්සන්තර, ශ්‍රී වික්‍රම රාජසිංහ, රත්නාවලී, දේවානම්පියතිස්ස, වලගම්බා, දුටුගැමුණු, ශකුන්තලා, මහිලා නාටකය, පත්මිණී, දිනකර, අලකේශ්වර, මිම්මට මිම්ම ආදී ඓතිහාසික, ආගමික හා සමාජයීය නාට්‍යයන් හා ෂේක්ෂ්පියර් පඬිතුමා ගේ රෝමියෝ ජුලියට්, ඔතැලෝ හැම්ලට්, මර්චන්ට් ඔෆ් වැනිස් ආදී පරිවර්තන ද ඇතුළු ජෝන් ද සිල්වාගේ ප්‍රසිද්ධියට පත් වූ නාට්‍ය කෘතීන්වලින් සමහරෙකි.

නාට්‍ය ලෝලයන්, කලාභිලාෂීන්, රාජ්‍ය පාලකයන්, ප්‍රභූන් හා පොදු මහජනයාගේ ප්‍රසාදය හා ගෞරවය ලබමින් දියුණු වූ ජෝන් ද සිල්වා නාට්‍ය ප්‍රදර්ශනය වූයේ සිංහල වේදිකා නාට්‍යයේ “ස්වර්ණමය යුගය” බිහි කරමිනි.

නෘත්‍ය යුගයේ ලියැවුණු ජෝන් ද සිල්වා මහතාගේ නාට්‍ය කෘතීන් දෘශ්‍ය කාව්‍යයන් ලෙස ද හඳුන්වන ලදී.

ලංකාවට විශේෂ වූ දියුණු වූ සංගීතයක් එකල නොතිබීමේ හේතුව නිසා ජෝන් ද සිල්වා ගේ නාට්‍යවලට උතුරු ඉන්දියානු සංගීත රාග, තාල යොදා ගීත ප්‍රබන්ධ කිරීමට සිදුවිය. අනෙක් බොහෝ විද්‍යාවන් හා කලාවන් මෙන්ම සංගීතයට ද ජාතික සීමාවක් නොමැත. එය මනුෂ්‍ය වර්ගයාගේ සභ්‍යත්වය සමඟ වැඩෙන රසඥතාව දියුණු කරන කලාවකි.

ඔපරා

ජෝන් ද සිල්වා නාටක නියම නාටක නොව, ඒවා “ඔපරා” බවත් සමහර දෝෂ විවේචකයෝ සඳහන් කරන්නට වූහ. නමුත් මෙම නාටක “ඔපරා” නොවන බවත්, මෙම නාටකවල හා ‘ඔපරා’වල ඇති වෙනසත්, ඒ දෝෂ විවේචකයන්ට අවබෝධ කරවමින්, පරලෝ සැපත් ඩී.ආර්.ජයවර්ධන විද්වතුන් විසින් රචිත “ජෝන් ද සිල්වා” නමැති ග්‍රන්ථයේ පහත සඳහන් විස්තරය කර ඇත.

ඔපරා වනාහි සංගීතයෙනුත්, සින්දුවෙනුත් සමන්විත වූ නාට්‍ය ක්‍රමයකි. එහි දෙබස් නැත්තේය. “ඔපරාහි” අදහස ඕකැස්ට්‍රා හෙවත් විවිධ සංගීත භාණ්ඩ සමූහයකින් නිකුත් වන කර්ණ රසායන මිහිරි ශබ්ද එක්කිරීමෙන් උසස්තම සංගීතයක් නිපදවීමය. “ඔපරා” හි සින්දු බරවූත්, කීමට ඇති දුෂ්කර වූත් ප්‍රබන්ධයෝය. අවුරුදු බොහෝ ගණනක් ඉතා වෙහෙස මහන්සියෙන් පුහුණුව නොලබා සින්දු කීමෙහි සමර්ථ කමක් ලබාගත නොහැකිය. එහි සංගීතය ද ගැඹුරු වූත් ගායනයේ සාමර්ථය ලැබීම අති දුෂ්කර වූත්, සංගීත ක්‍රමයකි. “ඔපෙරා”වල සින්දු කියන්නෝත්, සංගීත භාණ්ඩ වයන්නෝත් ඒ කරුණු පිළිබඳ විශේෂඥයෝ ය. ඔපරාව අස්වාභාවික විනෝද ක්‍රමයකි. එහි කතන්දරය ද පණ ගන්වන්නේ සංගීතයෙනුත්, සින්දුවෙනුත් ය. ජෝන් ද සිල්වා ගේ ජීවමාන මනුෂ්‍ය චරිතවලින් තෘප්ත වූ දෙබස් සහිත ක්‍රියාත්මක නාටක කවර වර්ගයක් රචනා වුණත් “ඔපරා” නොවන බව නම් මෙයින් වටහා ගත හැකිය.”

ජෝන් ද සිල්වාගේ ප්‍රථම නාට්‍ය සංගමය වන සීමා සහිත ‘පූර්ව දිග ලංකා නාට්‍ය සංගමය ආර්ය සුබෝධ නාට්‍ය සංගමය, විජයරංග සභාව ආදී වශයෙන් වරින්වර වෙනස් විය.

විකාශය

මෙසේ නෘත්‍ය යුගයේ නාට්‍ය දියුණු වෙමින් යන අතර තවත් දක්ෂ නාට්‍ය කර්තෘන් කීප දෙනෙක් ඇතිවූහ. ජෝන් ද සිල්වා සමකාලීනයෙකු වූ ආර්.ජෝන් පෙරේරා “හරිශ්චන්ද්‍ර” ආදී නාට්‍ය කීපයක් ම රචනා කර නිෂ්පාදනය කළ සුප්‍රසිද්ධ නාට්‍ය කතුවරයෙකි. ඓතිහාසික හා ආගමික කථා වස්තූන් ගණනාවක් නාට්‍යයට ගොඩ නගා ප්‍රදර්ශනය කළ නීතිඥ චාල්ස් ඩයස් මහතා ද ජෝන් ද සිල්වා මෙන්ම දේශීය නාට්‍ය කලාවට විශිෂ්ට සේවයක් කළ නාට්‍ය කර්තෘවරයෙකි. පණ්ඩුකාභය, දුටුගැමුණු, ධර්මාශෝක, විධුර, සිවම්මා ධනපාල, ශ්‍රී වික්‍රම ආදිය චාල්ස් ඩයස් මහතාගේ නාට්‍ය කෘතීන් ගෙන් සමහරෙකි. ‘සුවිනීත භාර්යාව‘ ආදි සමාජීය තාත්වික නාට්‍ය ගණනාවක් ලියා වේදිකා ගත කළ බී. ඇල්. බෝධිපාල මහතාත් එකල නාට්‍ය රචකයෙක් හා ගීත ප්‍රබන්ධකයෙක් වශයෙන් විශාල දක්ෂතාවයක් හා ප්‍රසිද්ධියක් ලැබූවෙකි.

දේශීය සිංහල නාට්‍ය දිනෙන් දිනම නවෝදයක් ඇති කරවමින්, මහජන ප්‍රසාදය ලබමින් සීඝ්‍රයෙන් දියුණු වන්නට විය. එහෙත් 1911 වර්ෂය වන තෙක් නාට්‍ය ප්‍රදර්ශනය සඳහා අංග සම්පූර්ණ නාට්‍ය ශාලාවක් තිබූ බවක් නොපෙනේ. පිටකොටුවේ පිහිටි ප්ලවර් හෝල් (පුෂ්ප ශාලාව) නාට්‍ය ශාලාවෙන් පසු හුණුපිටියේ “පබ්ලික් හෝල්”, මරදානේ ‘පැවිලියන් හෝල්’ (පැලස්) දැනට ‘ඇල්පින්ස්ටන් හෝල්’ ක්‍රයිටේරියන් හෙවත් ‘මකරන් හෝල්’ (දැන් නිව් ඔලිම්පියා) ආදි නාට්‍ය ශාලාවල් කීපයක් ඉදි වූ නමුත් ඒවා නාට්‍ය කරණය සඳහා එතරම් උචිත නොවූ හෝ වෙනත් යම් යම් කරුණු නිසා හෝ ඒවායේ නාට්‍ය ප්‍රදර්ශනයන් සාර්ථකව දීර්ඝ කාලයක් ගෙන යාමට නුපුළුවන් වන්ට ඇතැයි පිළිගත හැක.

ටවර් හෝල්

“දියුණු වී යන නාට්‍ය කලාවේ උන්නතිය සඳහා නවීනතම අංග සම්පූර්ණ ස්ථිර නෘත්‍ය ශාලාවක් තැනීමේ අවශ්‍යතාව වටහා ගත් දෙමටගොඩ පදිංචිව සිටි ජී. ඩී. හෙන්ද්රික් අප්පුහාමි මහතා මෙම බැරැරුම් කාර්යය ඉටු කිරීමේ වගකීම බාර ගන්නා ලද්දේ සත් ගුණවත් බී. ජේ. පෙරේරා (බාලසූරිය ගේ ජේමිස් පෙරේරා අප්පුහාමි) මහතාගේ මාර්ගෝපදේශයෙනි. මරදාන ප්‍රදේශයේ වූ සුදුසු භූමි භාගයක් ඒ සඳහා මිලට ගෙන “ටවර් හෝල්” නෘත්‍ය ශාලාව ගොඩ නගන ලදී.”

මෙම නෘත්‍ය ශාලාව නාට්‍යාභිලාෂීන්ට පමණක් නොව, උගත් නූගත්, උස් පහත්, ලොකු කුඩා සියලුම පොදු මහජනතාවට ආදර්ශමත් අන්දමින් ජාතික, ආගමික හැඟීම් ඇති කරවමින්, නාට්‍ය රසය ගෙන දුන් රස උල්පතකි.

නීතිඥ චාල්ස් ඩයස් මහතා ගේ “පණ්ඩුකාභය” නමැති ඓතිහාසික නාට්‍ය මංගල උත්සවාකාරයෙන් වේදිකා ගත කිරීමෙන් 1911 වර්ෂයේ “ටවර් හෝල්” නෘත්‍ය ශාලාව සිංහල වේදිකා නාට්‍යයන් සඳහා විවෘත විය.

1911 වර්ෂයේ සිට 1935 වර්ෂය දක්වා නීතිඥ ජෝන් ද සිල්වා නීතිඥ චාල්ස් ඩයස්, ආර්. ජෝන් පෙරේරා, බෝධිපාල ආදි ශ්‍රේෂ්ඨ ඝණයේ නාට්‍ය කර්තෘන්ගේ නාට්‍යයන් දිනපතාම මෙම නෘත්‍ය ශාලාවේ වේදිකා ගත කරන ලදි. 1935 වර්ෂයේ සිට 1945 වර්ෂය දක්වා සතියකට වරක් සෑම බ්‍රහස්පතින්දා දිනකම නාට්‍ය පෙන්වන ලදී.

මධ්‍යස්ථානයක්

මෙම නෘත්‍ය ශාලාව නැවත නාට්‍ය පෙන්වීම සඳහා ඉල්ලුම් කරන සෑම අවස්ථාවකදීම වගකිව යුත්තන් විසින් මතුකර පෙන්වනු ලබන බාධක කරුණු වන දුම්රිය හඬ හා දුම්රිය ඇනජින් වලින් නගින දුමෙන් හෝ, දැනට වඩා පාරවල් පටු අවධියක වූ ඒ කාලයේ රථවාහන වලින් හෝ ජනාකීර්ණ ප්‍රදේශයක් වීමෙන් හෝ නාට්‍ය පෙන්වීමට ඇතිවූ කිසිම බාධාවෙක් නොවීය. නාට්‍ය නැරැඹීමට පැමිණෙන මහජනයාට මාර්ග පහසුකම් ආදි සියලුම සැප පහසුකම් සැලසි තිබු මධ්‍යස්ථානයකයි ටවර් හෝල් නාට්‍ය ශාලාව පිහිටා තිබුණේ.

ජාතිය ප්‍රබෝධ කරවමින්, ජාතියට ආදර්ශයක් දෙමින්, ජාතියේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වමින් ගෙනගිය ජාතික වේදිකා නාට්‍යයේ මාතෘ ස්ථානය ලෙස සැලකෙන, ජාතික නිදහස් සටනේ පතාක යෝධයන්ගේ කාහල නාදයෙන් රැව් පිළිරැව් දුන්, “ටවර් හෝල්” නාට්‍ය ශාලාව, අසරණව, අහිංසක භාවයට පත් වෙමින් නාට්‍ය ලෝකයේ කිසිවෙකු ගේ ඇල්මක් බැල්මක් නොමැතිව පැරණි නාට්‍ය කලාවේ නෂ්ටාවශේෂයක සංකේතයක් බවට අද පත්ව ඇත්තේ, මෙහි ඓතිහාසික වටිනාකම දත් නාට්‍ය කලාකරුවන්ගේත්, මහජනයාගේත් හෘදයන් සංවේගයෙන් කම්පා කරවමින් ය.

ටවර් හෝල් පාලනය බී. ජේ. පෙරේරා මහතාගෙන් පසු හෙන්ද්රික් අප්පුහාමි ගේ බෑණනුවන් වන එඩ්මන් සෙනෙවිරත්න මහතා අතට පත් විය. එඩ්මන් සෙනෙවිරත්න මහතා ඉහත සඳහන් නාට්‍ය කර්තෘන්ගේ නාට්‍යයන් ප්‍රදර්ශනය කළේ ස්ථිර වෘත්තිය නළු නිළි පිරිසක් ද ඇති කරමින් ය. ටවර් හෝල් නෘත්‍ය ශාලාව වරින්වර බද්දට ගෙන නාට්‍ය නිෂ්පාදකයින් විසින් නාට්‍ය පෙන්වන ලදි. ජෝන් ද සිල්වා මහතාගේ පුත් පීටර් ද සිල්වා, සීබට් ඩයස්, ඇල්. බී. ඒ. රත්නායක, සම්සි ආදිහු ඉන් සමහරෙක් වෙති. මේ නාට්‍ය නිෂ්පාදකයන් අතරෙන් ඇල්. බී. ඒ. රත්නායක මහතා නාට්‍ය කර්තෘවරයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු හා ගීත ප්‍රබන්ධකයෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසුලුවේ ටවර් හෝල් වේදිකාව ඇතිවීමටත් බොහෝ කලකට පෙර සිටය.

බුද්ධගයා, සීතාවක රාජසිංහ, කවට අන්දරේ ආදි කෘතීන් ගණනාවක් රචනා කර නිෂ්පාදනය කළ මොහුට නාට්‍ය වේදිකා විශාරද යන ගෞරව නාමය ද හිමිවිය. “ජෝන් ද සිල්වා නාට්‍ය ඉතිහාසය” තම පෞද්ගලික මුදලෙන් අච්චු ගස්වා ප්‍රසිද්ධ කර ඇති රත්නායක මහතා දැනට ‘ටවර් හෝල් ඉතිහාසය’ නමැති ග්‍රන්ථය රචනා කරගෙන යයි. දේශීය පැරණි නාට්‍ය පිළිබඳ නෘත්‍ය කරුණු දැනගත හැකි අද සිටින එකම පුද්ගලයා වශයෙන් රත්නායක මහතාගේ නම සඳහන් කළ හැකිය.

පැරණි පරපුර

සී. දොන් බස්තියන්, ජෝන් ද සිල්වා නාට්‍ය වල රඟ පෑ ඉහත සඳහන් නළු නිළි පරම්පරාවෙන් පැවත ආ ගී ගැයීමෙත්, රඟපෑමේත් එකසේ දක්ෂකම් පා මහජන ප්‍රසාදයටත්, කීර්තියටත් පත් වූ සිංහල වේදිකා නාට්‍යයේ නොනැසෙන නමක් තැබූ නළු නිළියන්ගෙන් සමහරෙකි. ඇස්. වෙළුන් පෙරේරා, කේ. ඩී. මාටින් (ඕදිරිස් අප්පු) බී. බර්නාඩ් ද සිල්වා (බණ්ඩා) ඩී. සී. සේනානායක, ඇල්. සිමියොන් සිල්වා, ඇන්ඩෲ පෙරේරා (අන්දරේ අප්පු) මෙම නළුවා ගෑනු චරිත කෙතරම් උසස් අන්දමට රඟපෑවා ද කියතොත් ‘රොමියෝ ජුලියට්’ නාට්‍යයේ ‘ජුලියට් වශයෙන් රඟ පෑ අවස්ථාවේ එංගලන්තයෙන් පැමිණි නාට්‍ය කණ්ඩායමකට ඔහු පිරිමියෙක් බව ඔප්පු කිරීමට හැකි වූයේ ඔහුගේ කෘතිම කොණ්ඩය ඉවත් කිරීමෙන් පසුය.

ඇන්. රොම්ලස් ද සිල්වා (තාල, රාග නොබිඳ ගී ගැයීමේ විශිෂ්ට) දක්ෂතාවක් ඇති ගාම්බීර, තේජවන්ත, දඩබ්බර චරිත ඇතුළු ඕනෑම චරිතයක් තාත්විකව රඟපෑමේ දක්ෂතාවක් ඇති මොහු දැනට හැත්තෑ විය පමණ වූවෙකි. ටී. වී. ඇඩ්වින් පෙරේරා (ඇන්ඩි අප්පු) දුටු ගැමුණු, විධුර, වීදිය බණ්ඩාර, ධර්මාශෝක, ආදි චරිතයන් ශ්‍රේෂ්ඨ අන්දමින් නිරූපණය කරමින් වචන උච්චාරණයෙහි අති දක්ෂතාවක් පෙන් වූ කීර්තිමත් නළුවෙකි. ටී. විල්බට් පෙරේරා (රූපරාජා යයි හැඳින් වූ දක්ෂ නළුවෙකි) ඇම්. රොමානිස් පෙරේරා (ලංකා චාලි චැප්ලින් මෙන් ප්‍රකට විකට රාජායි) ඩබ්ලිව්. සිල්වසේටර් (ගෑනු චරිත ඇතුළු ඕනෑම චරිතයක් නිරූපනය කළ හැකි නළුවෙකි) ටී. පී. අල්මේදා (විකට චරිත නිරූපනය කළ දක්ෂයෙකි) එච්. දොන් බෙනඩික්, පර්සි පෙරේරා (නාට්‍යාංගනාවක් ලෙස නැටුම් ඉදිරිපත් කළ ගෑනු චරිත නිරූපනය කළ දැකුම්කළු රූ සපුවකින් යුත් නළුවෙකි) ඇනී බොතේජු හා ලක්ෂ්මී බායි (ගී ගැයීමේ හා පිරිමි චරිතයන් නිරූපනය කළ දස්කම් පෑ නම ගිය නිළියන් දෙදෙනෙකි) සෝම කාන්තා කමලා කාන්තා, සුසිලා ජය සිංහ හා රෙජිනා පෙරේරා (ඉන්දියාවේ ලතා මන්ගේස්කාර් හා සමාන ගී ගැයීමේ ප්‍රසිද්ධියක් ඉසුලු නිළියකි.) මේ නළු නිළි පරම්පරාව සිය ගණනක් වේ.

ඒ පැරණි නාට්‍යයන් සංගීතයෙන් පණ ගැන් වූ සංගීත රසයෙන් මහජනයා කුල්මත් කළා වූ පිටරට වල පවා කීර්ති රාවය පැතුරූ සංගීතඥයන් රැසක් ද වූහ. එයින් ප්‍රධාන පෙළේ සංගීත කරුවන් වශයෙන් ටී. නිකලස් මාස්ටර්, සංගීත වාදිභසිංහ, එච්. ඩී. ඇඩ්වඩ් සයිමන් පතිරාජ (රතු ඇල්බට්), කේ. ඩී. ජෝර්ජ් ජයරත්න, ජේ. සාදිරිස් සිල්වා (සාදිරිස් මාස්ටර්) බී. ඇඩී ද සිල්වා (ඇඩී මාස්ටර්) එච්. ඩබ්ලිව්. රූපසිංහ, කේ. ඩී. නිකලස් මාස්ටර් එම්. ඒ. ලෝරන්ස් පෙරේරා, එච් දොන් වින්ස්ටන් පීරිස්, පොඩි අමරදාස, ලොකු අමරදාස, පොඩි අප්පුහාමි ආදින් ඒ සංගීතඥයන්ගෙන් සමහරෙකි.

කොළඹින් පිට බිහි වූ ප්‍රසිද්ධ නාට්‍ය සංගමයක් වශයෙන් මීගමුවේ ශ්‍රී ලංකා නාට්‍ය සංගමය සඳහන් කළ හැකිය. මෙහි ආරම්භකයා වශයෙන් ක්‍රියා කළේ මීගමුවේ සී. බෙන්ජමින් ප්‍රනාන්දු මහතායි. (මොහු ටවර් හෝල්හි පවා කීර්තියක් ඇති කර ගත් ශ්‍රේෂ්ඨ නළුවෙකි. මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමය බිහි කිරීමට ද මොහු මූලිකව ක්‍රියා කර ඇත.) මෙම නාට්‍ය සංගමයේ නළු නිළියන් බොහොමයක් නාඩගම් වල රඟ පෑ නළුවෝ වූහ. රෝගුස් ප්‍රනාන්දු, ටී. මොයිසෙසක් කුවේජු, ඒ’ කයිතන් පෙරේරා, ලන්තීනු ප්‍රනාන්දු, ගොඩිගමුවේ මනුවෙන්, ඇම්. විසෙන්ති පෙරේරා, ඊ. මර්ෂල් පෙරේරා, නාරම්මල ඇම්. තෝමස් සිංඤෝ, ඩේසි පෙරේරා (ඩේවිඩ් පෙරේරා) ආදි නාඩගම් නළුවන් සහ සෙබස්තියන් පීරිස්, පානදුරේ ඇම්. ආතර්, කෑගල්ලේ සයිමන් ත්‍යාගරත්න, ආදින් නාට්‍ය සංගමයේ නළුවන් වශයෙන් හැඳින්විය හැක. මෙම නාට්‍ය සංගමයේ සංගීතඥයින් වශයෙන් ප්‍රසිද්ධ වූයේ සංගීතාචාර්ය ගම්පහ එම්. ඒ. රොබට් පීරිස්, කොටුගොඩ ඇන්ඩි අප්පු, කිඹුල්පිටියේ ජේමිස් මාස්ටර් ආදින් ය.

නෘත්‍ය සම්ප්‍රදායානුකූලව ගොඩනැගු බැලසන්ත, සූර සරදියෙල්, සූර මාතලන් ආදි නාට්‍ය විශාල ගණනක් වේ. එම නාට්‍ය වැඩි හරියක් ප්‍රදර්ශනය කළේ ගම්නියම්ගම් නගර ආදියේ ගොඩ නැගු තාවකාලික මඩුකූඩාරම් වලය. සමහර අවස්ථාවල කොළඹ ටවර් හෝල් නාට්‍යයන් ද එම ස්ථානවල වරින්වර ප්‍රදර්ශනය කරන ලදි. මේ අනුසාරයෙන් රටේ අස්සක් මුල්ලක් නෑර නාට්‍ය කලාව පැතිරෙන්නට විය.

ඉල්ලීමක්

මෑත කාලයේ දේශානුරාගයකින් යුතුව නාට්‍ය රචනා කළ ශ්‍රේෂ්ඨතම නාට්‍ය කර්තෘවරයා නම් තංගල්ලේ සිරිසේන විමලවීර මහතායි. කුළ භේදයට, මසුරු ධනවතුන්ට තදින් පහර ගසමින් ජාත්‍යාලයෙන් ඔද ගැන්වෙන, ලොමු දැහැ ගැනෙන දෙබස් වලින් හා සංගීතයෙන් පණ ගැන් වූ රොඩි කෙල්ල, රොඩි කොල්ලා ගංවතුර පිටිසර කෙල්ල, අම්මා, සීදේවි ආදි නාට්‍යයන් ඔහුගේ රචනායි. නාට්‍ය කලාවට පමණක් නොව ලංකාවේ ප්‍රථමයෙන් ම සිංහල සිනමා චිත්‍රාගාරයක් ඉදිකර සිංහල සිනමාවේ දියුණුවටත් අමරණීය සේවයක් කළ සිරිසේන විමලවීර මහතා සිංහල චිත්‍රපට හා සිංහල නාට්‍ය රචකයෙකු, නිෂ්පාදකයෙකු හා සුප්‍රසිද්ධ නළුවෙකු වශයෙන් ද සිහිකළ යුතු ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි.

මේ අන්දමින් ගෙන ආ නෘත්‍ය යුගයට අයත් පැරණි දේශීය නාට්‍ය කරණය ක්‍රම ක්‍රමයෙන් වේදිකාවෙන් ඈත් වන්නට වූයේ ටවර් හෝල් වේදිකාව ද වැසී නෘත්‍ය යුගය අඳුරට ඇදහෙළමින් ය. පැරණි නාට්‍යයන් මෙලෙස වැනසී යාමට ඉඩ නොතබා ආරක්ෂා කර ගැනීමට වර්තමාන නාට්‍ය කලාභිලාෂින් පෙරමුණු ගන්නේ නම් එය නාට්‍ය කලාවටත්, ජාතියටත් කරන අමරණීය සේවයක් වනු ඇත.

මෙම ලිපිය කොටස් දෙකක් ලෙස 2010 මැයි 16 සහ 2010 මැයි 30 දිනයන්හී සිළුමිණ පුවත් පතේ පුන්කලස අතිරේකයේ පළවූවකි. 19 වෙනි සියවසෙහි අවසාන භාගයේ දී ආරම්භ වී චලන චිත්‍රපට මාධ්‍ය මෙරටට සංක්‍රමණය වීමත් සමඟ ම ක්‍රමික ව අභාවයට පත්වුණු නෘති යුගයේ ආරම්භය පිළිබඳ ව ගැඹුරින් විවරණය කරන මේ ලිපිය පාසල්වල, උසස් අධ්‍යාපන ආයතනවල හා විශ්ව විද්‍යාලවල, නාට්‍ය හා රංග කලාව විෂයයක් වශයෙන් හදාරණ ශාස්ත්‍රාභිලාභීන්ගේ හා සාමාන්‍ය පාඨකයන්ගේ ප්‍රයෝජනය පිණිස මෙසේ ඉදිරිපත් කිරීම ලේක්හවුස් ආයතනයට කෘතඥ විය යුතුය. මේ ලිපිය පුන්කලස අතිරේකය වෙත යොමු කරන ලද්දේ මහදිසාවේ බණ්ඩාර ඇටිපොල විසිනි.

ප්‍රවීණ කලාවේදී ධර්මදාස කුරුප්පු විසින් වර්ෂ 1969 රසවාහිනි අප්‍රේල් කලාපය වෙනුවෙන් රචනා කරන ලද දුර්ලභ ගණයේ ශාස්ත්‍රීය ලිපියකින් උපුටා ගැනීමකි.