Archive for October, 2012

05
Oct
12

චිත්‍රපට ගීත – පෙරළෙන ඉරණම

Slideone

1 නටන්ඩ හිතුණා

මෙම ගීයේ තනුව උපුටා ගැණුනේ 1939 දී නිෂ්පාදනය වූ Bandhan චිත්‍රපටයට අශෝක් කුමාර් හා ලීලා චිට්නිස් ගයන Chal Re Nau Jawan ගීයෙනි. එහි සංගීත අධ්‍යක්ෂණය කලේ සරස්වතී දේවි සමග රාමචන්ද්‍ර පාල් ය. 1969 වසරේ තිර ගතවූ  Ek Phool Do Mali නම් අතිශය ජනප්‍රිය චිත්‍රපටයට ද chal chal re naujawan ගීයේ මුසුවක් ඇතුලත් කෙරුණේ තනුවේ ජනප්‍රියතාව නිසාමය. (ඒ සියළු ගී රස විඳින්න මෙම ලිපියේ මතු තැනෙක අවශ්‍ය යොමු දක්වා ඇත)

Slide2

2 නින්දේදි රාත්‍රී යහනේ

මෙම ගීයේ තනුව උපුටා ගැණුනේ 1948 දී නිෂ්පාදනය වූ Anokhi Ada චිත්‍රපටයට උමා දේවි ගයන Dil Ko Laga Ke Humne ගීයෙනි.

එම හින්දි ගීය ද රස විඳින්න.

Slide3

3 කෝ තව ආවේ නෑ

Slide4

4 බැඳීලා කාසි බැම්මේ

මෙම ගීයේ තනුව උපුටා ගැණුනේ 1947 දී නිෂ්පාදනය වූ Jugnu චිත්‍රපටයට නූර් ජෙහාන් ගයන Hamen To Sham E-Gham Mein ගීයෙනි.

එම හින්දි ගීය ද රස විඳින්න.

5 මං බදින වයස

මෙම ගීයද හින්දි තනුවකට නිම වූවකි. මීට පෙර ද සඳහන් කෙරුණු Anokhi Ada චිත්‍රපටයට මුකේෂ් ගයන Manzil Ki Dhun Mein ගීයෙන් එම තනුව උපුටා ගෙන ඇත.

Slide5

6 හද ආදර ප්‍රේමේ

Slide6

7 කරුණා ජලේ

Slide7

8 සිනාසිසී නැග එන්නා

Slide8

9 ඕළු මලේහී සුදෝ සුදෝ

Slide9

10 ගෙන එනවා පවුඩර් සාප්පුවක්

තනුව උපුටා ගැණුනේ 1948 දී නිෂ්පාදනය වූ Mela චිත්‍රපටයට මුකේෂ් සහ ෂම්ශාඩ් බෙගම් ගයන Main Bhanwara Tu Hai Phool ගීයෙනි.

Slide10

11 පාපේ මේ ජීවිතේ

තනුව උපුටා ගැණුනේ 1948 දී නිෂ්පාදනය වූ Anoki Aada චිත්‍රපටයට සුරේන්ද්‍ර සහ ශම්ෂාඩ් බෙගම් ගයන Kyun Unhen Dil Diya  ගීයෙනි. එම හින්දි ගීය ද අහන්න.

Slide11

Continue reading ‘චිත්‍රපට ගීත – පෙරළෙන ඉරණම’

Advertisements
02
Oct
12

සිංහල චිත්‍රපට ගී

කුමණ කරුණක් සම්බන්දයෙන් වුව ලංකාවේ ඉතිහාසය හාරා අවුස්සද්දී මනස මහා අවුලක පැටලී උත්තර සොයා ගත නොහැකි වූ ප්‍රශ්න රාශියක් මැද අසරණ වෙයි.
ඉතිහාසයය පුරාම අවුල් ගොඩකි. එහෙම වුනේ ඇයි?
ඇතැමෙක් හිතා මතාම තමාගේ සිතැඟි ඉතිහාසීය සත්‍යය ලෙස ගෙන හැර දැක්වීමට ආල වට්ටම් යොදමින් මහා බොරු කන්දරාවක් ගොතා ඇත. (යටි අරමුණු ඇතිව එසේ කලා විය හැක) හැම තැනම මෙ වැනි අවුල්ය. මනසට දමා ගන්නට පළමු සියල්ල මැනවින් පිරිපහදු කොට ගත යුතුය.

මට මගේ පාසල් කාලය සිහිවේ. අපට ඉතිහාසය, භූගෝල විද්‍යාව හා සමාජ අධ්‍යනය යන විෂයන් උගැන්වූයේ ඩබ්. එස්. බණ්ඩාර ගුරු පියාණන් ය (දෙවිනුවර පොල් ඉන්දූ හේනේ වෙසෙන එතුමා සිහිපත් කරන්නේ අපමණ වූ භක්තියෙනි). ඉතිහාසය පාඩමේ දී "සිංහල ජාතිය පැවත එන්නේ විජය ගෙනි" යන්නට එදත් මගේ තිබුණේ දැඩි විරෝධයකි.
විජය කියන්නෙ නොපණත්කම් කල නොහික්මුණු, නොදැමුණු, දුෂ්ඨකම් ම කල පුද්ගලයෙක්. මොන තාත්ත ද තමන්ගෙ පුතා රටින් පිටුවහල් කරන්නෙ හදාගන්න පුළුවනි යැයි යම්තම් හරි ඉඩක් දකී නම්? මේ විදියට සමාජයට නොපෑහෙන පුද්ගලයෙකු වන විජය අතුළු ඔහුගේ සහචරයින් 700 ක් පිරිස පිටුවහල් කරනු ලැබූ අවධිය බුදු ‍රජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිටි අවස්ථාව බවත් මතු දිනෙක බුද්ධ ධර්මය රැකෙන්නේ මේ ශ්‍රී ලංකා ද්වීපයේ බවත් එකී ද්වීපයේ රාජ්‍යත්වයක අවශ්‍යතාව දිවැසින් දකින බුදු රජාණෝ පිරිනිවන් මංචකයේ සිටම විජය ඇතුළු 700 ක් පිරිවර ලංකා ද්වීපය දෙසට පාවී යේවා යැයි පැතූ බවත් මහානාම හාමුදුරුවෝ මහාවංශයෙහි කියන කතාව, අනේ එදා පාසලේ ඉතිහාස පාඩමේ දී මම කොහෙත්ම පිළිගන්නට සූදානම් නොවූයෙමි. බුදු හාමුදුරුවෝ එහෙම ප්‍රාර්ථනයක් කරන්නෙ කොහොම ද? විජය ඇවිත් කරපු දේවල් බුදු රජාණන් වහන්සේට දිවැසින් නොපෙණුනා ද?

කාටද ඕනැ වුනේ ‍මේවා මේ විදියට ඉතිහාස ගත කරන්න. ඇත්ත මෙක ද? මේ රටේ තාක්ෂණික දැනුමෙන් කර්මාන්තයෙහි නිපුණතාවෙන් යුත් ජන සමූහයක් විසූ බව කියන අතරම ඒ ජන වර්ගයා රාජ්‍යත්වයට නුසුදුස්සන් බව ද හුවා දක්වා ඇත. විජයට කලින් ලංකාවේ විසූ ජනයා පහත් කොට සැළකීමට, විජයට පෙර වූ ඉතිහාසය යට ගැසීමට වෙර දරා ඇති බව දැනෙද්දී ඉස්කෝලේ ඉතිහාස පාඩමේදී පුංචි මට දත්මිටි කැවුනේ එදා මට එහෙම එරෙහි වෙලා කොරන්න පුළුවන් කෙංගෙඩියක් නොතිබුණු නිසා විය හැක. (පසු කලෙක බණ්ඩාර ගුරු පියාණන් බලන්නට ගිය අවස්ථාවක මා ගුරුතුමා හා පැවසුවේ "සර් සිංහලයා විජයගෙන් පැවතෙන බව දැන් නම් මාත් විශ්වාස කරන බව" යි)

සිංහල චිත්‍රපට ගී පිළිබඳ ව කරුණු හොයමින් සිටිද්දි සිංහල චිත්‍රපට ඉතිහාසය ගැන හරි අවබෝධයක් තිබිය යුතු නිසා යහමින් ඒ ගැන හාරා ඇවිස්සුවා. ආයෙත් සුපුරුදු ගැටළුව.

සිංහල චිත්‍රපට ඉතිහාසය ආරම්භ වෙන්නෙ කොතැන් සිට ද?

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉමහත් වෙහෙසක් දරා කරුණු එකු රැස් කොට ලියූ "සිංහල චිත්‍රපට ගීතාවලිය" කෘතියෙහි ආරම්භයෙහි ම කතුවරයා මෙසේ ලියනවා.

උපුටා ගැනීම:
" සිංහල චිත්‍රපට ගීයෙහි ප්‍රථම දශකය – කඩවුණු පොරොන්දුව නමැති ප්‍රථම සිංහල චිත්‍රපටය 1947 ජනවාරි 21 වැනි දා තිර ගත වීමත් සමග සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යය ආරම්භ වූයේය."
උපුටා ගැනීම නිමයි. (සිංහල චිත්‍රපට ගීතාවලිය 1947 – 1956 – පිට 9)

"කඩවුණු පොරොන්දුව" සිංහල චිත්‍රපටය 1947 ජනවාරි 21 වැනි දා තිර ගත වුනත් මේ වකවානුවෙ පොඩි පහේ තරඟයක් තිබුනා. එකම විට චිත්‍රපට තුනක් නිෂ්පාදනය වෙමින් තිබුණා. මුලින් ප්‍රදර්ශනය කරන තරඟයෙන් දිනුවෙ එස්. එම්. නායගම්. ඔහුට පුළුවන් වුනා මේ හා සමගාමීව නිෂ්පාදනය වෙමින් තිබූ "අශෝකමාලා" හා "දිව්‍යයමය ප්‍රේමය" යන චිත්‍රපට දෙකට කලින් "කඩවුණු පොරොන්දුව" මහජනයාට ප්‍රදර්ශනය කරන්න.

අනෙක් වැදගත් කාරණය, ප්‍රථම සිංහල චිත්‍රපටය "කඩවුණු පොරොන්දුව" ද යන්නයි. මේ පිළිබඳ කරුණු සොයද්දි හමුවූ පහත ලිපිය ඉදිරිපත් කිරීම වඩා හොඳයි කියල  හිතුණා.
සරසවිය පුවත් පත ට අරුණ ගුණරත්න ලියූ මේ ලිපිය බලන්න.

උපුටා ගැනීමයි:
"සිංහල සිනමාවේ ජන්ම දිනය ලෙස ජනවාරි 21 වැනි දින අප සලකනුයේ මෙරට ඉතිහාසය පුරාම අප විසින් අප ලඝු කොට දැක්වීමේ ජන්ම ගතිය නිසා බැව් මගේ පෞද්ගලික හැඟීමයි.  විජයාවතරණයට පෙර මහත් වූ සංස්කෘතියක් සහිත ජාතියක් ඇතැයි ඇස් පනා පිට ඔප්පු කළ හැකි හැම සාධකයක්ම මෙරට ඉතිරිව තිබියදී විජයගෙන් ජාතිය පහළ වී යැයි සිතමින් සතුටු වන්නට පුරුදු අප, සිංහල සිනමාව දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ කුඩා චිත්‍රාගාරයක උපත ලැබුණා යැයි සිත හදා ගන්නේ එයට පෙර ලාංකික සිනමාවේ උපත වෙනුවෙන් වෙහෙසුනු මිනිසුන් පිළිබඳ අමතක කරමිනි. එසේ විනා එයට වසර හැත්තෑවකට පමණ පෙර එම නගරයේ මිහිදන් ව ගිය මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ට හෝ අදටත් එහි ජීවත් වන ඔහුගෙන් පැවැත එන්නන්ට නෑකම් කියන්නට නොවේ.

මේ වැකිය මා ලියන්නේ කඩවුණු පොරොන්දුව හෝ අසෝකමාලා හෝ යන චිත්‍රපට නිපදවීමට පුරෝගාමි වූ නායගම්, බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න, රුක්මණී දේවි, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ජේ. සිංහ වැන්නන් ගැන හෝ ශ්‍රීමත් ගාඩිනර්, ශාන්ති කුමාර් සෙනෙවිරත්න වැන්නන් ගැන හෝ අවතක්සේරු කිරීමේ හෝ ඔවුන් එදා ගත් වෑයම නොසැලකිය යුතු ය යන සිතකින් නොවන වග සඳහන් කළ යුතුය.
අප දකුණු ඉන්දියාවේ චිත්‍රාගාරයකට යන්නට පෙර මෙරට දී සිංහල චිත්‍රපට දෙකක් එනම් 1925 වසරේ දී රාජකීය වික්‍රමය නමින් ද දෙවෙනුව 1936 වසරේ දී පළි ගැනීම නමින්ද නිපද වී ඇති වග අමතක කළ යුතු නැත. රාජකීය වික්‍රමය ප්‍රදර්ශනයටත් පෙර විනාශ වී ගිය ද පළි ගැනීම 1936 වසරේ මැයි 19 වැනි දින කොළඹ ගෙයිටි සිනමාහලේ තිරගත විය. එමෙන්ම ආසියාවේ ප්‍රථම සිනමා සමාජය වූ කොළඹ සිනමා සමාජය ද බිහිවූයේ කඩවුණු පොරොන්දුවට කලිනි.

සෝලටන් කෝර්ඩාගේ (Zoltan Korda) ඩ්‍රම් චිත්‍රපටය (The Drum – 1938) මෙරට රූ ගැන්වෙද්දී මීරියම් පීරිස් (Miriam Pieris) එම චිත්‍රපටයේ රඟපාමින් ජාත්‍යන්තර සිනමාවට අවතීර්ණ වූයේ ද එයට පෙර ය. ඒ වනවිටත් විදේශ චිත්‍රපට දෙක තුනක්ම මෙරට නිපදවා තිබිණි. එහෙත් අප මුල්ම කතානාද චිත්‍රපටයක් තනන්නට තරග වදිනුයේ දකුණු ඉන්දියාවේ මදුරෙයි සහ මදුරාසියේ චිත්‍රාගාර දෙකක ය. එමෙන්ම පූර්වෝක්ත කරුණු සලකා බැලීමේ දී ලාංකික සිනමාව සිතනවාට වඩා වැඩි වයසකින් යුත් එකකි.
ලොව බොහෝ රටවල සිනමා කෘති නිපද වීම ඇරැඹෙන විට සිනමාව යනු ඒ ඒ රටවල ජනතාවට මැජික් එකක් වුව ද මෙරට මුල්ම කතානාද සිනමාව ඇරැඹෙන විට මෙරට සාමාන්‍ය ප්‍රේක්ෂකයනට එහි මැජික් එකක් වූයේ නම් එය එතුවක් වෙනත් භාෂාවලින් කතා කළ රූප මුල් වරට තම මව් බසින් කතා කිරීම පමණී. එමෙන්ම මෙරට කඩවුණු පොරොන්දුව තිරගත කරන විට සිංහල කතා කරන චිත්‍රපටයක අවශ්‍යතාව ජනතාව අතරින් ම පැන නැඟී තිබුණාට කිසිම සැකයක් නැත්තේ එම අවශ්‍යතාව පෙන්වා දෙන ලිපි රැසක් ඒ වනවිටත් මෙරට පුවත්පත්වල පළ වී තිබුණ බැවිනි.

එබැවින් මෙරට මුල්ම චිත්‍රපටය බිහිවීම යන කාරණාව පවා වෙනත් රටවල සිනමාව බිහිවීම ට වඩා වෙනස් බැව් මගේ හැඟීමයි. ඒ නිසාම මුල්ම කතානාද සිනමාව බිහිවීම උදෙසා තරගයක් ඇති වීම ද පුදුමයට කරුණක් නොවේ. එයින් එස්.එම්.නායගම් හැමවිටම අලුත් නිෂ්පාදන බිහි කිරීමේ පුරෝගාමිව කටයුතු කිරීමේ අභිලාෂයෙන් පෙළුණ ව්‍යවසායකයෙකු වන අතර තරගයෙන් දෙවැනි තැන දිනූ සිලෝන් තියටර්ස් සමාගම ඒ වනවිටත් මෙරට සිනමා ව්යාෙපාරයේ දැවැන්තයෙක්ව සිටියෙකු වෙයි. නායගම් ද ඒ වනවිටත් ඉන්දියාවේ දෙමළ චිත්රනපට කිහිපයක් නිපද වූ මදුරෙයි නගරයේ චිත්‍රා ගාරයක හිමිකරුවෙකි. එමෙන්ම මුල්ම සිංහල කතානාද සිනමා කෘතිය නිපද වීමෙන් නොනැවතී හෙතෙම මෙරට මුල්ම චිත්‍රාගාරය ගොඩනැඟීමේ කර්තව්‍යයේ ද ගෞරවය දිනා ගත්තේ ය. ඔහු එසේ කළේ ඒ වනවිට මෙරට චිත්‍රපට නිපදවීමට අත ගැසූ බොහෝ ලාංකිකයන් චිත්‍රපට නිපදවීම ලංකාවට වඩා ඉන්දියාවේ සිදු කිරීම වඩා ලාබදායක යැයි ගණන් බලා පෙන්වා දෙද්දී ය. එබැවින් එස්.(සුන්දම් පිල්ලෛ) එම්. (මධුර) නායගම් ගේ නම සිංහල සිනමාව පිළිබඳ ඉතිහාසයේ දී මෙයට වඩා හොඳීන් ගරු කළ යුතු නාමයක් වේ. එමෙන්ම ඔහු මෙරට සබන්, ප්ලාස්ටික්, විළවුන්, ගිනි පෙට්ටි ඇතුළු දේශීය කර්මාන්ත රැසකම පුරෝගාමියකු ද වෙයි.
මෙරට සිනමාව ආරම්භයේ සිටම පැවැතියේ දැවැන්ත වෙළෙඳ පොළක ශක්‍යතාවයෙන් තොරව ය. රටපුරා සිනමා ශාලා අදට වඩා තිබුණ ද උතුරු නැගෙනහිර මෙන්ම උඩරට බොහෝ සිනමා ශාලා දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනයෙන් ගලවා ගැනීම කිසි විටෙකත් කළ නොහැකි විය. කොළඹ නගරයේ පවා පැවැති සිනමාහල්වලින් ද වැඩි කොටස වෙන්ව ගියේ තමිල්නාඩුවේ තැනුණ චිත්‍රපටවලට විනා අපේ චිත්‍රපටවලට නොවේ. එබැවින් අපට හිමිව තිබුණේ සීමා සහිත වෙළෙඳ පොළකි. මේ තත්ත්වය නිසා යම් පළාතකට ගංවතුර ගැලුව ද පොදුවේ එය අපේ නිෂ්පාදනයන්ට සෘජුව දැනිණ. එමෙන්ම චිත්‍රපට නම් ව්‍යාපාරයේ ශක්‍යතා අධ්‍යයනයක් කිසි කලෙකත් මෙරට සිදු නොවිණ. එබැවින්ම මෙරට බොහෝ චිත්‍රපට තැනුණේ කරන්නන් වාලේ ය.

කෙසේ වෙතත් ලාංකික සිනමාවේ ගැටලු කිසිසේත් මෙරට සිනමාව සම්බන්ධ හුදකලා ගැටලු නොවී ය. සිනමාවේ මෙරට සිදුවූ ප්‍රවණතාවන් ද එබඳූම ය. වෙනස මේ ගැටලු අපට දැනුණේ අදට වඩා ප්‍රමාදව ය. මෑත කාලීන බොහෝ ගැටලුවල හේතු වූයේ ද ඒවා ඔඩු දමා දුර ගියේ ද සිනමාව සම්බන්ධව ලොව පුරා සිදුවන ඇතැම් ප්‍රවණතාවන් නිසිලෙස හඳූනා නොගැනීමේ වරද නිසාවෙනි.
පසුගිය දශකයේ ලොව දෘශ්‍ය මාධ්‍ය ව්‍යාපාරයේ බරපතළ විපර්යාසයක් සිදුවිණ. තව දුරටත් සිනමාව යනු සිනමාහලකට කොටුවන එකක් නොවේ යැයි මා සටහන් කළේ මෙයින් දස වසරකට පමණ එපිට ය. මේ සමඟ සිනමාවේ ආදායම් ඉපැයීම පුළුල් වන බව මම විශ්වාස කළෙමි.
මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය යැයි හඳූන්වන සමයක පවා වාර්ෂිකව මෙරට චිත්‍රපට නැරැඹීමට සිනමාහලකට ගිය ජන සංඛ්‍යාව සාමාන්‍යයෙන් මෙරට ජනතාවෙන් සියයට එකොළහක් වූයේ නැත. එහෙත් පසුගිය දශකයේ සිනමාහල්වලින් බැහැර විකල්ප මාර්ගයෙන් සිනමා කෘති නරඹන සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම් ය. මේ මෙරට සිනමාව සතු වෙළෙඳ පොළක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙයට දස වසරකට පමණ පෙර ලාංකික චිත්ර පට ව්‍යාපාරය කෙතරම් අවදානමකට ලක් විනි දැයි කිවහොත් සමහරු එහි මිනී පෙට්ටියේ අවසන් ඇණය ගැසීමට පවා සැරැසී සිටියහ. එහෙත් රටේ පැවැති වාතාවරණය සමඟ එම තත්ත්වය වෙනස්ව ගියේය. එහෙත් මේ තත්ත්වය සිනමාවේ ප්‍රගතිය තවත් වර්ධනය කරන්නට නම් එය යාවත්කාලීන විය යුතුය. පවතින පැරැණි සිනමා හල් පද්ධතිය නවීකරණය වීම අත්‍යාවශ්‍ය කරුණකි. චිත්‍රපට නැරැඹීම සම්බන්ධ ඇති රාත්‍රී ප්‍රවාහන පහසුකම් ආදියේ හිඟවීම් ආදිය ට පිළියම් අනිවාර්ය විය යුතුය. පසුගිය දශක තුනක් මුළුල්ලේ මෙරට වෙළාගත් භීෂණය හේතුවෙන් සවස් ජාමයේ සිනමාහලකට එළියට යෑමේ පුරුද්ද බැහැර විය. එම තැන රූපවාහිනිය යන්ත්‍රය උදුරා ගත්තා නොවේ. ඉබේටම එය විකල්පයක් බවට පත්විණ. එහෙත් පසුගිය වසරේ සිනමාහල්වලට ඇදී ආ ජනගහනය එම තත්ත්වයේ වෙනසක් පෙන්වූයේ මිනිසුන්ගේ බිය සැක නැතිව ගොස් ඇති බැවිනි.

කලකට ඉහත සිනමා කෘතියක් නිර්මාණය කිරීම මහත් විශාල කටයුත්තක් ලෙස සැලකී ය. අද පවා එය වගකීම් විරහිත දැවැන්ත එකක් යැයි සිතන්නට මම මැලි වෙමි. එහෙත් ලෝක සිනමාවේ පුරෝගාමියකු වූ ඩී.ඩබ්ලිව්. ග්‍රිෆිත් කවදාක හෝ පෑන්, පැන්සල් ගණනට සිනමාව යා යුතු යැයි මෙයින් සියවසකට පෙර පළ කළ අදහසට අනුව අද සිනමා නිර්මාණ පහසුකම් සුලබ වෙමින් පවතී. කොල්ලෝ, කුරුට්ටෝ තම අතැති ජංගම දුරකතන මගින් ද කෙටි චිත්‍රපට නිර්මාණ කරන යුගයක් එළැඹ ඇති වග අප අමතක නොකළ යුතුය. තම සිතැඟි පරිදි ආත්ම ප්‍රකාශනයක් ලෙස නිර්මාණයේ යෙදෙන තරුණයකුට සිය නිර්මාණය අන්තර්ජාලය ඔස්සේ යැවිය හැකි දුරට ඉමක් නැත.
මේ අපේ සිනමාවේ අනාගතයේ එක් පරිච්ඡේදයකි. අද කිසිදු සිනමාහලකට යොමු නොවී තම ආත්ම ප්‍රකාශනය ලෙස සිනමාව භාවිත කරන්නට සැරැසෙන පිරිස ඉමහත්ය. ඒ අතර සිනමාව ගෙයින් ගෙට එන්නේ අනාදිමත් කාලයක් මුළුල්ලේ කතා අසන්නට අප සිත් හි ඇති පුරුද්දට ආලෝකයක් දෙමිනි. ටෙලිවිෂනය යනු සිනමා කෘති නැරැඹීමට ඇති විකල්ප මාර්ගයක් නොවේ යන්න යල් පැන ගිය මතයක් ව ඇත්තේ ය. එළැඹෙන යුගයේ සිනමාව මේ සියලු අභියෝග මැද වැජඹේවා යැයි ප්‍රාර්ථනා කිරීමෙන් නොසෑහී එම නවයුගයට ගැළපෙන ලෙස කටයුතු කිරීම එහි ඇතිව තිබෙන ප්‍රබෝධය සදාකල් රඳවා ගැනීමට හේතුවන බැව් මම සඳහන් කරනු කැමැත්තෙමි. මගේ රටේ සිනමාව බිහි කිරීමෙන් පමණක් නොව ඒ වෙනුවෙන් සිය ජීවිතය කැප කළ එම සිනමාව ඉදිරියට ගෙන ගිය ජීවත් වන සහ එදා ජීවත් ව සිටි කුදු මහත් සියලු සුන්දර මිනිසුන්ගේ නාමයන්ට මම ශීර්ෂ ප්‍රණාමය කරන්නට කැමැත්තෙමි. "
උපුටා ගැනීම නිමයි.

http://www.sarasaviya.lk/2012/01/19/_art.asp?fn=sa1201197&pn=06

ලේඛන ගත වන තෙක් ඉතිහාසය ලෙස දන්නා දේ පැවත ආයේ කටින් කට ගුරු ගෝල පරම්පරා මගිනි. ගුරු පරම්පරා වෙනස් වෙන කොට, පරම්පරාවෙන් පරම්පරාවට යනකොට කොයි දේටත් යම් යම් දේ එකතු වෙන්නත් සමහර දේ ගිලිහිලා යන්නත් පුළුවන්. ගැටළුමය තැන් ආවම කලේ සංගායනාවක් කරල ගැටළු ලිහා ගන්න එක. ඒත් අද බොහෝ දේ සංගායනාවක් කරල ශුද්ධ කරන්න බැරි තරම් විනාශ වෙලා. විකෘති වෙලා. විරෝපට්ටම් වෙලා. නුමුත් දැන් හරි සංගායනාවක් අවශ්‍ය යි. ෴
කෙසේ වුවත් "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටය 1947 ජනවාරි 21 වැනි දා තිර ගත වීමත් සමග සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යය ආරම්භ වූයේය යන්නට එකඟ වෙමි.

 
"සිංහල චිත්‍රපට ගීතාවලිය – 1947 – 1856 " පොතේ අධ්‍යාශය සහ අනුමෝදනාවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන මේ කතාව අප පාසල් යන අවධියේත් අත්වින්දා.
උපුටා ගැනීම:

"චිත්‍රපට තිරගත වූ කාල වකවානුවල මේ ගී පදමාලා මුද්‍රණය වූයේ "චිත්‍රපට සින්දු පොත්" වශයෙනි. චිත්‍රපට නරඹන්නට පෝළිමේ සිටියදීත් සිනමා ශාලා තුල විවේක කාලයේදීත් ශත 25 හෝ 20 හෝ 10 ගණනේ මේවා විකුණන ලදී. සුරුට්ටු කඩවල හා පෙට්ටි කඩවල මේවා සැරසිල්ලක ආකාරයට ක්ලිප් වලින් එල්ලා තිබෙනු ද එවක දකින්ට ලැබුණි."

උපුටා ගැනීම නිමයි. (සිංහල චිත්‍රපට ගීතාවලිය 1947-1956 – පිට 9)

Kadawuna Poronduwa Song Book Ashokamala Song Book filmKapati Roxykiosk

කඩවුණු පොරොන්දුවෙන් ඇරඹි සිංහල චිත්‍රපට ගීතාවලියේ ගී සමුදාය එකිනෙක රැකී ඇති සැටියෙන් ගෙන එන්නයි මේ පුංචි වෑයම.

මෙහි ඉදිරිපත් කෙරෙණ හැම ගීයකම පද මාලාව ද ගීයට අදාල දත්ත ද ගීතය තුලම අන්තර්ගත කොට ඇත.